විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතක් කෙටුම්පත් කිරිමට යයි

බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව අනුව ඉදිරියේදී විශේෂිත භාණ්ඩ හා සේවා බදු (GST – Goods and Services Tax) පනතක් කෙටුම්පත් කරන බව රජය පවසයි. ඊයේ දිනයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2021 අයවැය යෝජනා මගින් මුල්වරට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත කෙටුම්පත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා වන අගමැතිවරයා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව මෙහිදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම නව පනත මගින් පැනවීමට අපේක්ෂිත විධිවිධාන යටතේ මත්පැන්, සිගරට්, වාහන, සන්නිවේදන සහ ඔට්ටු ඇල්ලීම් යන ක්ෂේත්‍රවලට අදාළව භාණ්ඩ හා සේවා බදු අය කිරීම වඩාත් සරල කිරීම සැලසුම වී තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව එය නීතියක් බවට පත් වෙනු ඇතැයි සඳහන් කර තිබේ.

“මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද තෝරාගත් අයිතම කිහිපයක් වෙත පමණක් බලපැවැත්වෙනු ඇති.” යනුවෙන්ද ඔහු පවසා තිබේ.

Visits: 385