තනි පුද්ගල ආයෝජකයන්ගේ දායකත්වයෙන් ASPI යළිත් 7,000 සීමාවට

අද (මාර්තු 24දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙර දිනයේදී මෙන් වඩාත් සාර්ථක බවක් පෙන්නුම් කරමින් දිනය අවසානයේදී දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට සමත් විය.

විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමෙන් පසුව උදා වී තිබෙන තත්ත්වය සහ රටෙහි ආර්ථිකය සම්බන්ධයෙන් පවතින ධනාත්මක ඉදිරිපත් කිරීම් මෙලෙස ආයෝජකයන් යළිත් වෙළෙඳ පොළ වෙත ආකර්ෂණයවීම මීට හේතුව බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අතරින්ද තනි පුද්ගල ආයෝජකයන් කැපී පෙනෙන ලෙස වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා දායක වී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 6,914.98ත් ඒකක 7,144.77ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,135.84 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 23) දිනයට සාපේක්ෂව ඒකක 156.55 ක් එනම් +2.24%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 144ක මිල ගණන් පමණක් ඉහළ ගිය අතර, සමාගම් 29ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+16.45), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+15.23), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+11.19), සම්පත් බැංකුව SAMP (+8.38), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+7.3), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී පීඑල්සී AAIC (-1.72), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (-1.18), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (-0.26), ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී JINS (-0.16), එච්ඩීඑෆ්සී බැංකුව HDFC (-0.15) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,871.08 ක අගයක් ගත් අතර, එය  ඊයේ (මාර්තු 23) දිනයට සාපේක්ෂව ඒකක 69.29 ක එනම් +2.47%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.56ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 23) වාර්තා කළ රුපියල් මිලියන 972.9 ට සාපේක්ෂව 60% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.12ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.29%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 10.46ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 337.12ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 326.66කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.96ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.12 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 165.34ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 468ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 259ක සහ රුපියල් මිලියන 245ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 240