නව ආයෝජකයෙක් එයි BreadTalk අවන්හල් තාවකාලිකව වැසීම නවතී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RIL Properties PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත FoodBuzz පෞද්ගලික සමාගමෙහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීම සඳහා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොවන බව RIL Properties PLC සමාගම පවසයි.

ඒ අනුව පසුගිය මාර්තු 16 වැනිදා සිදුකළ අනාවරණයට අනුව FoodBuzz පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක BreadTalk බේකරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවිසැල් ජාලයේ මෙහෙයුම් මාර්තු 20 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවීමක් සිදු නොවුණු බවත් එම සමාගම දැනුම් දී සිටියි.

සිය හිමිකාරීත්වය යටතේ පවතින FoodBuzz පෞද්ගලික සමාගමෙහි කොටස් 100%ක් මිලදී ගැනීම සඳහා ආයෝජකයෙකු ඉදිරිපත්වීම මේ සඳහා හේතුව බව RIL Properties PLC සමාගම පවසයි.

ඒ අනුව මේ වන විට එම ගනුදෙනුව පිළිබඳව එකඟතාවකට පැමිණෙමින් සිටින බව එම සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම දැනුම්දීම සිදු කරන අවස්ථාව වන විට කිසිදු ආකාරයක හෝ අලෙවි කිරීමක් සම්බන්ධ එකඟතාවකට පැමිණ නොමැති බවත්, ඉහත සඳහන් කළ ගනුදෙනුව සිදු වන බවට කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බවත් සමාගම පවසයි.

එහෙත් මෙම ගනුදෙනුවේ පවතින නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් සහ පෙර සඳහන් කළ ආයෝජකයා හා පවතින එකඟතාවට පිවිසීම සම්බන්ධයෙන් වෙළෙඳ පොළ නිරන්තරයෙන් දැනුවත් කිරීමටත් කටයුතු යොදන බව RIL Properties PLC සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 767