ශ්‍රී ලංකාමේ මාතෘ මරණ පිළිබඳ යුනිසෙෆ් වාර්තාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

COVID-19 වසංගත සමය තුළදී ශ්‍රී ලංකාවේ මාතෘ මරණ විශාල ලෙස ඉහළ ගිය බවට විවිධ මාධ්‍ය මගින් පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන සුළු අවස්ථාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියගේ අත්සනින් යුක්තව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානය මගින් දකුණු ආසියාවේ COVID-19 වසංගතයේ ඍජු හා වක්‍ර බලපෑම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවකට අනුව මෙම පුවත් වාර්තා පළ වී තිබුණි. එහි සඳහන් වූ ආකාරයට වසංගතය දරුණූ ලෙස පැවැති 2020 වසරේදී ශ්‍රී ලංකාවේ මාතෘ මරණ සංඛ්‍යාව 77%කින් ඉහළ ගිය බවට සඳහන් විය. එය දකුණු ආසියාවේ වැඩිම අගය බවටද පත්ව තිබුණි.

යුනිසෙෆ් සංවිධානය සහ SickChild – Centre for Global child යන ආයතනය එක්ව මෙම වාර්තාව සකස් කර තිබුණි. එහිදී Direct and Indirect Effects of Covid-19 Pandemic and Response in South Asia ලෙස මෙම වාර්තාව නම් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම මුල් වාර්තාව හුදෙක් ගණිතමය අනාවැකියක් පමණක් බවත්, උපකල්පිත අගයන් කෙසේ වුවද අවසානයේදී සත්‍ය ලෙස වාර්තා වූ මාතෘ මරණ ප්‍රමාණය ඊට හාත්පසින්ම වෙනස් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

“යුනිසෙෆ් වාර්තාවෙන් 2020 වසර සහ 2021 මුල් කාර්තු දෙක තුළ සිදුවිය හැකිව තිබූ මාතෘ හා ළමා මරණ සංඛ්‍යාව ගණිත අනුමාන සූත්‍ර භාවිත කරමින් ඉදිරිපත් කර ඇත. ඔවුන් එම අනුමානයන් සඳහා භාවිත කර තිබුණේ එක් රටකින් ඉතා සුළු සත්‍ය දත්ත ප්‍රමාණයක්, තර්කානුකූල ක්‍රම මගින් ගොඩනගන දර්ශක කිහිපයක් හා COVID-19 රෝග බෝවීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඇසුරින් ගොඩනැගුණු තාර්කික දර්ශකයකි.” සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම මෙහිදී ගණිතමය අනාවැකිය සඳහා යුනිසෙෆ් සංවිධානය පාදක කරගෙන ඇත්තේ COVID-19 රෝග මර්දනය සඳහා යොදා ගත් ක්‍රම (ඇඳිරි නීතිය පැනවීම, ගමනාගමනය සීමා කිරීම) මගින් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අඩපන වන බවත්, ඒ නිසා අතිරික්ත මාතෘ හා ළමා මරණ ප්‍රමාණයක් සිදු වන බවට වූ උපකල්පනය බවද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙය හුදෙක් අනුමානයක් පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

“මෙබදු ගණිතමය උපකල්පන මත වාර්තා වූ අනුමාන කල මාතෘ මරණ වැඩිවීමක් සත්‍ය වශයෙන්ම සිදු වූ ආකාරයෙන් වාර්තා කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. මෙම වසංගත සමය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් යොදා සිදුකළ මාතෘ සංරක්ෂණ කටයුතු අවතක්සේරුවට ලක් කිරීමක් ලෙසද දක්වනු කැමැත්තෙමු.” යනුවෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් කර තිබේ.

Visits: 107