චීනයෙන් ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව මුහුණු ආවරණ නිපදවන යන්ත්‍ර 30ක ප්‍රදානයක්

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන මුහුණු ආවරණ නිපදවීමේ යන්ත්‍ර 30ක් සහ ඒවාට අවශ්‍ය පටි සවි කෙරෙන යන්ත්‍ර 60ක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කිරීමට චීනයේ DMI Industrial Group සමාගම මගින් පියවර ගෙන ඇතැයි පවසයි.

COVID-19 වසංගතයට එරෙහිව චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රදානයක් ලෙස මෙම යන්ත්‍ර ලබාදීම සිදු වී තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා විසින් මෙම ප්‍රදානය භාර ගෙන ඇත.

මෙම යන්ත්‍ර තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 500ක් පමණ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම යන්ත්‍ර හරහා ශ්‍රී ලංකාව තුළ මුහුණු ආවරණ නිපදවීම වේගවත් කිරීමේ අවස්ථාව මෙන්ම රට තුළ රැකියා උත්පාදනය කරමින් ජනතාවට ආදායම් උපයා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Visits: 81