විශාල ප්‍රාග්ධන සහිත සමාගම් යථාවත්වීම දර්ශක අගයන් ඉහළ දමයි

නව සතිය වෙත ඉතා හොඳ ආරම්භයක් ලබා දෙමින් අද (මාර්තු 22දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙර දින කිහිපයට සාපේක්ෂව වඩාත් සාර්ථක තත්ත්වයට පත්විය. එහිදී විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ පෙන්නුම් කළ යථාවත්වීම දර්ශක අගයන් ඉහළ යාමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම දේශීය සහ ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ තවදුරටත් පවතින කල්පනාකාරී බව අද දිනයේදීත් ආයෝජක සහභාගිත්වය අඩු මට්ටමක පැවතීමට හේතු වූ බවද එම සමාගම් පවසයි. එහෙත් ආර්ථිකයේ යහපත් වර්ධනයක් පිළිබඳව පවතින විශ්වාසනීය ප්‍රකාශ වෙළෙඳ පොළ ධනාත්මකවීම සඳහා දායකත්වය ලබා දුන් බවත් සඳහන් වෙයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,861.29ත් ඒකක 6,971.55ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 6,966.71 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මාර්තු 19) දිනයට සාපේක්ෂව ඒකක 112.39 ක් එනම් +1.64%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් පමණක් ඉහළ ගිය අතර, සමාගම් 40ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+12.24), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+7.4), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+7.16), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.8), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.58), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), ටීජේලංකා පීඑල්සී TJL (-0.97), ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (-0.58), මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී MAL (-0.37), නේෂන්ස් ලංකා ෆිනෑන්ස් පීඑල්සී CSF (-0.31) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,786.12 ක අගයක් ගත් අතර, එය  පසුගිය සිකුරාදා (මාර්තු 19) දිනයට සාපේක්ෂව ඒකක 28.67 ක එනම් +1.04%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 757.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (මාර්තු 19) වාර්තා කළ රුපියල් මිලියන 1.38 ට සාපේක්ෂව 45% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.04ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.80%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 7.16ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 128.36ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 121.21කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.75ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී (නිෂ්ඡන්ද කොටස්) විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.35 කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 81.55ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 248ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 33% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 151ක සහ රුපියල් මිලියන 120ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 465