ශ්‍රී ලංකාව චීනය හා ඩො. බිලියන 1.5ක විනිමය හුවමාරු ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකාව චීනය සමගින් ඩොලර් බිලියන 1.5ක විනිමය හුවමාරු (SWAP) ගිවිසුමකට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම ගිවිසුම වසර තුනක කාලයක් සඳහා වලංගු වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව මෙම ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹී තිබේ. මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයෙහි නිර්දේශ මත මෙම හුවමාරු ගිවිසුමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව එම බැංකු දෙකෙහි අධිපතිවරුන් වන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් යන මහත්වරුන් මෙහිදී ඊට අත්සන් තබා තිබේ.

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම පහසුකම ලබා ගෙන තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.

එසේම දෙපාර්ශ්වයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීමටත් මෙම මුදල් යොදවා ගන්නා බව මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

විශේෂයෙන්ම මහජන චීන රජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වන බවත්, 2020 දී චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමෙරිකානු ඩො. බිලියන 3.6ක් (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%ක්) වූ බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 308