ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව යළි වැඩ අරඹලා

කොටස් හිමිකාරීත්වයෙන් ශ්‍රී ලංකාවට 72% ක් සහ ඉන්දියාවට 28%ක් ලෙස පවතින ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27කට පසු යළි වැඩ අරඹා ඇතැයි පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ මෙරටට හිමි කොටස් හිමිකාරීත්වයෙන් 30%ක් දේශීය කොටස් හිමිකරුවන් අතර බෙදී ගොස් පවතින අතර, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා ලේලන්ඩ් රාජ්‍ය සමාගමට ඉතිරි 42% ක කොටස් ප්‍රතිශතය හිමිව තිබේ.

1994 දක්වා බස්, ලොරි ඇතුළු වාහන මෙරට තුළදී එකලස් කිරීම සිදු කෙරුණු අතර මෙරට තුළදී එකලස් කිරීමට වඩා ඉන්දියාවෙන් සම්පූර්ණයෙන් අශෝක් ලේලන්ඩ් වාහන ආනයනය කිරීම ලාභදායක වන තත්වයක් නිර්මාණය වී තිබුණු හෙයින් එම සමාගම 1994දී සිය වාහන එකලස් කිරීමේ කටයුතු නවතා තිබිණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ දිනයේදී මෙම කර්මාන්තශාලාවේ නිරීක්ෂණයකද නිරත වී තිබේ.

එම අමාත්‍යාංශය විසින් මෙරට වාහන නිපදවීම, වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කිරීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයට දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතයට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් එමගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට වාහන ආනයනය සීමා කොට සිය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කර මෙරට තුළ වාහන ලාභදායීව එකලස් කිරීමේ ඉඩකඩ නිර්මාණය වී ඇතැයි පවසයි.

ඉහත කී සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළින් වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් සඳහා ලබා දී ඇති බදු සහන සහ වෙළඳපොළ අවස්ථා යොදා ගනිමින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙරට තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට නව රැකියා අවස්ථාවන් උදාකර දීමේ අවස්ථාවද පවතී.

එසේම වාහන දහස් ගණනින් මෙරට තුළදීම එකලස් කරන හා වාහන අමතර කොටස් ද මෙරට තුළදීම නිපදවනු ලබන තත්වයට ඔසවා තැබීම සහ දකුණු ආසියානු කලාපයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කොටගෙන වාහන අපනයනය වෙත ද පිවිසීමටත් පාරිභෝගික අවශ්‍යතා මත සාමාන්‍ය බස්, ලොරි පමණක් නොව කසළ ලොරි, වතුර බවුසර, කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රවාහනය කෙරෙන ට්‍රක් රථ ආදී ලෙසින් විශේෂීකරණය කළ රථ වාහන ද මෙරට වෙළඳපොළට නිකුත් කිරීමේ අවකාශය දැන් නිර්මාණය වී ඇති බවද කර්මාන්ත අමාත්‍යවරයා මෙම අවස්ාවේදී පවසා තිබේ.

එම නිරීක්ෂණ චාරිකාව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන හා කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් යන මහත්වරු ද එක්ව සිට ඇත.

Visits: 567