ශ්‍රීලංකන් Quiz Master කණ්ඩායම CILT Quiz Master 2021 තරඟය ජයගනී

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනුම මිණුම කණ්ඩායම (SriLankan Airlines Quiz Team) වරලත් ක්‍රමකාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT) විසින් සංවිධානය කළ Quiz Master 2021 ප්‍රශ්ණ විචාරාත්මක තරඟය පසුගියදා ජයග්‍රහණය කරන ලද බව පවසයි. මෙම කණ්ඩායම මීට පෙර එනම් 2018 වර්ෂයේ දී CILT Quiz Master ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්ව තිබේ.

ශ්‍රීලංකන් Quiz කණ්ඩායම දැනුමෙන් හා ප්‍රඥාවෙන් යුත් විශිෂ්ට සටනකින් පසු රටේ ඉහළම ආයතන හා විශ්ව විද්‍යාල කණ්ඩායම් 47 ක් පරාජය කරමින් ජයග්‍රාහකයන් බවට පත්විය. මෙවර ප්‍රශ්නාවලිය ක්‍රමකාර්ය සම්පාදන සහ ප්‍රවාහන කර්මාන්තයට අදාළ ප්‍රශ්න වලින් සමන්විත විය.

CILT Next Generation Quiz Master යනු ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් වන අතර එය ප්‍රවාහන හා සැපයුම් පිළිබඳ විශේෂඥයින් ගෙන් සමන්විතවූ එකම තරඟය වේ. CILT Next Generation විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය හයවන වරට පැවැත්වී තිබේ.

මේ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනුම මිණුම කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් නායක ලෙස විද්‍යා සිරිවර්ධන, අමිල කරුණාරත්න, මයුරු සඳරුවන්, රුවන් බණ්ඩාර සහ ෂාන් අමරසේකර යන අය සහභාගී වී තිබේ.

මෑතකදී පැවති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික ප්‍රශ්න විචාරාත්මක තරඟය වන Biz Quiz 2020 ඇතුළු බොහෝ තරඟාවලි වල ජයග්‍රහණ ලබා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනුම මිණුම කණ්ඩායමට හැකි වී ඇත.

Visits: 30