සිංගර් ෆිනෑන්ස් (ලංකා) රු.බි. 2ක ණයකර කොටස් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව හරහා ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීම සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරැකුම් රහිත, අප්‍රධාන, පිරිමුදවිය හැකි ණයකර මිලියන 20ක් (20,000,000ක්) මෙහිදී නිකුත් කරන බව සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. එහිදී එක් ණයකරයක වටිනාකම රුපියල් 100ක් වන අතර සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2ක් ලෙසත් ගණන් බලා තිබේ.

මේ අතර ඉහත සඳහන් කළ ණයකර නිකුතුව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වන නියාමන අනුමැතියන් ලබා ගැනීමට නියමිතව තිබෙන බවත් සිංගර් ෆිනෑන්ස් (ලංකා) පිඑල්සී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් ලෙස මහ බැංකුව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව 2021 වසර අවසන්වීමට පෙරාතුව පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම උදෙසා සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම මෙලෙස ණයකර නිකුතුවක් හරහා සිය අරමුදල් රැස් කරගැනීමට යොමුව තිබෙන බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Visits: 349