ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක් සඳහා Facebook සහ VTA එක්වෙයි

Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර ගොඩනංවාගත් සහයෝගීතාවය අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී ඇතැයි පවසයි.

Facebook සමාගමේ WeThinkDigital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. එමෙන්ම රැකියා වෙළෙඳපොල තුළ ඩිජිටල් තාක්ෂණ හැකියාවන්ගෙන් යුක්ත වෘත්තීය පුහුණුවක් සහිත පිරිස් වෙත ඉහළ වටිනාකමක් හිමිවන අතර, ඩිජිටල් දැනුමින් පොහොසත් සිසුවෙකු හෝ සිසුවියක වීම අනාගතයේ වඩාත් සාර්ථක රැකියාවක හිමිකරුවෙකු වීම සඳහා අවශ්‍ය පදනම වනු ඇත.

“Train theTrainer” වැඩසටහන හරහා 1,300කට ආසන්න වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුකරුවන් පිරිසක් වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට නියමිත අතර, ඩිජිටල් විෂය ක්ෂේත්‍රයෙහි වෙනස්කම්, ඊ-ඉගෙනුම් ක්‍රියාවලීන්, අන්තර්ජාලයෙහි අන්තර්ගතයන් නිර්මාණය (online contentcreation), ව්‍යාපාර සඳහා ඩිජිටල් මෙවලම් (digitaltoolsforbusinesses) සහ වගකීම්සහගත ඩිජිටල් පුරවැසිභාවය (responsibledigitalcitizenship)යන විෂය මාතෘකා පිළිබඳව ඔවුන් විසින් සිසුන්ට දැනුවත්භාවය ලබා දෙනු ඇත.VTA ආයතනය වාර්ෂිකව සිසුන් 40,000කට අධික පිරිසක් වෙත පුහුණුව ලබා දෙන අතර, ඒ හරහා ඩිජිටල් යුගයට සරිලන දැනුමින් පිරිපුන් පරපුරක් නිර්මාණය කිරීමට විශාල සහයෝගයක් ලැබේ.

VTA ආයතනයෙහි සභාපති දමිත වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් “මෙරට යොවුන් පරපුර වෙත වෘත්තීය පුහුණු අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කැපවීමෙන් කටයුතු කරනවා. මෙම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා සිසුන් ආකර්ෂණය කරගැනීමේ නව්‍යකරණ මාර්ගයන් සොයාගැනීම යුගයේ අවශ්‍යතාවයක්. Facebookසමාගම සමග අප ඇතිකරගත් සහයෝගීතාවය විශිෂ්ට ඩිජිටල් දැනුමක් නිර්මාණය කිරීමට හේතුවන බව අපට විශ්වාසයි.යොවුන් පරපුර කියන්නේ රටක අනාගතය. නවීන ලෝකයට ගැලපෙන හෙට දවසක් වෙනුවෙන් අපි තවදුරටත් යොවුන් පරපුරට අවස්ථා නිර්මාණය කරදෙන්නට කැපවීමෙන් වැඩකරනවා.” යනුවෙන් පවසා ඇත.

Deloitte Digital Tools in Crisis and Recovery Report නමින් Facebook සමාගම හා Deloitte ආයතනය එක්ව සිදුකළ අධ්‍යයනයකින් හෙළිවූ කරුණු අනුව කුඩා පරිමාණ නව ව්‍යාපාර පවත්වාගෙන යන පාරිභෝගිකයින් 70%ක් පමණ පවසා ඇත්තේ මෙම කුඩා ව්‍යාපාර පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ සමාජ මාධ්‍යයන් ඔස්සේ බවයි. අවම වියදමකින් නිපැයුම් හා සේවාවන් පාරිභෝගිකයා අතරට රැගෙන යන්නට සමාජ ජාල මාධ්‍යයන් ඉටුකරන කාර්යභාරය ඉතා වටිනා බව ඒ හරහා පැහැදිලි වේ. එමෙන්ම කොවිඩ් – 19 වසංගතය පැතිරයාමත් සමග පාරිභෝගිකයින් 66%ක් ව්‍යාපාරයන් සමග අදාල සන්නිවේදන කටයුතු  සමාජ මාධ්‍ය හරහා හෝ වෙනත් ඩිජිටල් ක්‍රමවේදයන් භාවිතයෙන් සිදුකර තිබෙන බවද ඒ සඳහා Facebook යනු ඉතා වැදගත් ඩිජිටල් මෙවලමක් ලෙස ඔවුන් විශ්වාස කරන බවත් එයින් පෙන්නුම් කරයි.

Facebook සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු – යසස් විශුද්ධි අබේවික්‍රම මේ පිළිබඳව සිය අදහස් පැහැදිලි කරමින්. “ඩිජිටල් හැකියාවන්ගෙන් සවිබලගැන්වුනු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලබා දෙන ප්‍රමුඛතාවය අනුව යමින් VTA ආයතනය සමග සහයෝගීතාවයකට එළඹි Facebook සමාගම, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් දැනුම  වර්ධනය කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා.ඩිජිටල් ශ්‍රම බලකායට දිනෙන් දින වැඩි වශයෙන් පිරිස් සම්බන්ධ වෙමින් සිටිනවා. ඉගෙන ගැනීමට, ඉගැන්වීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන කුමන කාර්යයක් වුවත් සාර්ථකව සිදුකරන්නට අවශ්‍ය නිපුණතාවයන් ඔවුන් වෙත ලබා දෙන්නට අපි කටයුතු කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලාංකිකයින් ගේ ඩිජිටල් සාක්ෂරතාවය හා ඩිජිටල් පුරවැසිභාවය ඉහළ නැංවීම සඳහා Facebook ගෙන යන වැඩපිළිවෙලෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන උදාහරණයට ගත හැකි අතර, පසුගිය වර්ෂයේදී Facebook සමාගම We Think Digitalඩිජිටල් සාක්ෂරතා වැඩසටහන ක්‍රියාත්මක කරමින්ධනාත්මක හා සුරක්ෂිත අන්තර්ජාල භාවිතයක් වෙනුවෙන් අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීමට දායකවීම එහි ඉලක්කය විය.

Visits: 77