රේනුකා කැපිටල් පීඑල්සී ෂෝ වොලස්හි කොටස් මිලියන 5ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා කැපිටල් පීඑල්සී සමාගම සිය සම්බන්ධිත සමාගමක් වන ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 5ක් (5,000,000ක්) මිලදී ගැනීමක් සිදු කර ඇතැයි අනාවරණය කරයි.

පසුගිය මාර්තු 17 වැනිදා සිදුව ඇති මෙම ගනුදෙනුව සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙස රේනුකා කැපිටල් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

මෙහිදී එක් කොටසක් රුපියල් 11.54 බැගින් අලෙවි කර ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 57.7 ක් (57,700,000ක්) ලෙස ගණන් බලා ඇත.

මෙම ගනුදෙනුවේ අරමුණ ආයෝජනයක් ලෙස සැලකිය හැකි බවත්, සබැඳ පාර්ශ්වයන් අතර සිදු වූ මෙම ගනුදෙනුව සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදු වූවවක් වන බවත් රේනුකා කැපිටල් පීඑල්සී සමාගම පවසයි. එසේම මෙම ගනුදෙනුව හරහා සමාගමේ පැවැත්මට හෝ එහි සුළුතර කොටස්හිමිකරුවන් වෙත බලපෑමක් සිදු නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර මෙම සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුව සිදු වූ මූල්‍ය වර්ෂයේදී මෙම පාර්ශ්වයන් දෙක අතර සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් 358,500,010ක් වන බවත්, එම මූල්‍ය වර්ෂය තුළදී රේනුකා කැපිටල් පීඑල්සීහි සියලුම සබැඳි  පාර්ශ්වයන් අතර සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් 783,405,431ක් ලෙසත් ගණන් බලා තිබේ.

Visits: 92