බලපත්‍රය අහෝසි වන මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට ගෙවන වන්දි සීමාව ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මූල්‍ය සමාගම්වල බලපත්‍රය අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදල ඉහළ නංවා ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙතෙක් පැවැති එම වන්දි මුදල වන රුපියල් ලක්ෂ 6 සීමාව තවත් රුපියල් ලක්ෂ 5 කින් ඉහළ නංවා එය රුපියල් එකලොස් ලක්ෂයක් (1,100‍,000ක්) බවට පත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මෙවැනි මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට උපරිම සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය සමයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රය අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL), ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (TSCFL). ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් (TKS), ද ෆිෑන්ස් කම්පැනි පීඑල්සී (TFC), ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් (ETI) සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් පීඑල්සී (SFF) යන මූල්‍ය සමාගම් හයෙහි තැන්පත්කරුවන් සඳහා වන්දි මුදල් ගෙවීමේදී මෙම සංශෝධිත සීමාව අදාළ වනු ඇතැයි පැවසෙයි.

“එසේම මෙතෙක් කිසිදු වන්දි මුදලක් සඳහා අයදුම් නොකළ ඉහත කී මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට ද මෙම රුපියල් 1,100,000 නව සීමාව යටතේ රක්ෂණ වන්දි මුදල් සඳහා අයදුම් කරන ලෙසටද මෙයින් දන්වා සිටිනු ලැබේ.” මහ බැංකුව පවසයි.

මෙලෙස නව වන්දි මුදල් ගෙවන දිනය පිළිබඳව නුදුරේදීම මාධ්‍ය මගින් දැනුම් දීමටද කටයුතු කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

එසේම 2021 පෙබරවාරි 28 වැනිදා වනවිට ඉහත සඳහන් කළ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් වෙත ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල්  පිළිබඳ විස්තරද මහ බැංකුව අනාවරණය කර තිබේ.

මේ අතර උපරිම වන්දි මුදල් ගෙවීම වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9.8ක අතිරේක ගෙවීමක් මෙම සමාගම් හයේ තැන්පත්කරුවන්ට ලැබෙන අතර මුළු තැන්පත් මුදල රක්ෂණ වන්දි ගෙවීම මගින් සම්පූර්ණයෙන් ආවරණවන තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව 94%ක ප්‍රතිශතයක් දක්වා වැඩිවෙන බවත් මහ බැංකුව පවසයි.

මේ පිළිබඳ වැඩිදුර විමසීම් මහ බැංකුවෙහි නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ 0112477261 සහ 0112398788 යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 722