මානව හිමිකම් කවුන්සිල යෝජනා ගැන අදහස් කලබලකාරී කොටස් අලෙවියකට මඟපාදයි

අද (මාර්තු 18දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙර දින කිහිපයේදී පරිද්දෙන්ම දරුණු කඩා වැටීමක් පෙන්නුම් කෙරිණි. ඒ අනුව දිනයේ ගනුදෙනු නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000කට වඩා පහත වැටුණි.

එහිදී මූලිකවම ආයෝජකයන් තුළ පැවැති කලබලකාරී කොටස් අලෙවිය ඒ සඳහා මූලික වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මතවීමේ අවස්ථාවක් සහ ඒ හරහා මෙරට ආර්ථිකය වෙත බලපෑම් එල්ලවීමේ හැකියාවක් පවතින බවට වන අදහස මෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම් පහළ වැටීමත් දර්ශක අගයන් ඍණ වීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,929.13ත් ඒකක 7,052.94ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 6,930.76 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 17) දිනයට සාපේක්ෂව ඒකක 113.80 ක් එනම් -1.62%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 20ක මිල ගණන් පමණක් ඉහළ ගිය අතර, සමාගම් 144ක මිල ගණන් පහළ ගොස් තිබේ.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් තුළ සිදු වුණු ගනුදෙනුවක් දිනයේ සමස්ත පිරිවැටුමෙන් 3.6%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+2.25), ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (+0.85), සෙලාන් බැංකුව SEYB (+0.7), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+0.49), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+0.47), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-10.05), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-8.94), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.57), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-5.86), වැලිබල් වන් පීඑල්සී VONE (-4.95) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,774.78 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 17) දිනයට සාපේක්ෂව ඒකක 42.14 ක එනම් -1.5%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1.29ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 17) වාර්තා කළ රුපියල් මිලියන 853.07කට සාපේක්ෂව 52% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.03ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.05%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 172.17ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 208.82ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 36.66කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.37ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.23 කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 65.79ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 404ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 31% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 229ක සහ රුපියල් මිලියන 197ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 613