SME ව්‍යාපාරිකයන් අපනයනකරුවන් කිරීමට EDB වෙතින් ශක්තිමත් වැඩපිළිවෙලක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් (SME) අපනයනකරුවන් වශයෙන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්  අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ප්‍රාදේශීය වශයෙන් දියත් කර ඇතැයි පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ යටතේ දැනට සෘජුව අපනයනය සිදු නොකරන අපනයන ශක්‍යතාවක් ඇති ව්‍යවසායකයන්  හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදන අපනයන මට්ටම දක්වා වර්ධනය කිරීම සිදුවනු ඇත.ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, විධිමත් ඇසුරුම්කරණය ඇතුළු විවිධ අංශවලින් අවශ්‍ය දැනුම හා සහයෝගය ලබාදෙමින් දිගුකාලීනව ඔවුන් සෘජු අපනයනකරුවන් බවට පත් කෙරේ.

මේ යටතේ ප්‍රාදේශීය ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන2021 මාර්තු 10 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් වෙනුවෙන් පවත්වන ලදි. ඒ සදහා කාර්මික තාක්ෂණ ආයතනය,ශ්‍රී ලංකා ප්‍ර‍මිති ආයතනයහා හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ ද සහයෝගය ලැබුණු අතර ඊට දිස්ත්‍රික්කයේ අපනයන ශක්‍යතාවක් සහිත නිෂ්පාදකයින් රාශියක් සහභාගී විය.

මීට සමගාමීව අපනයන සංවර්ධන මණ්ඩලයේ ගරු සභාපති සුරේෂ් ඩි මෙල් මහතා, ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය,  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. එම්. පී. දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක්  ද පැවැත්විණ. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව විශේෂ ඇගැයීමක් සිදුවිය.

දැනට අපනයනය සඳහා සෘජුව සම්බන්ධ නොවන එහෙත් අපනයන සැපයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන හම්බන්තොට ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අපනයනය සඳහා යොමු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී අවධානයට ලක්විය.  ඒ මගින් ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික තත්ත්වය වර්ධනය වීම සඳහා වන බලපෑම පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් හඳුනා ගැනීමට ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ මීට වඩා ශක්තිමත් කරමින් වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය වාණිජ මණ්ඩලය විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

ඒ අනුව ප්‍රාදේශීය  ව්‍යවසායකයන් හඳුනාගැනීමේ සහ එම ව්‍යසායකයන් හා අපනයන සංවර්ධන මණ්ඩලය අතර සම්බන්ධීකරණය සිදු කිරීමේ මධ්‍යස්ථානයක් (focal point) ලෙස ප්‍රාදේශීය වාණිජ මණ්ඩලවලට ඇති වැදගත්කම හා ක්‍රියා කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුකරන ලදි.එහි නියමු ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වාණිජ මණ්ඩලය හා එක්ව එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟවිය.

ප්‍රාදේශිය ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම සහ තොරතුරු මෙන්ම ඔවුන් මුහුණ දෙන ගැටළු මාර්ගගතව (online) වීඩියෝ සම්මන්ත්‍රණ, රැස්වීම් හරහා විසදා ගැනීමට පහසුකම් සැපයීමද මේ යටතේ සිදුවනු ඇත.ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරියේ දී සංවිධානය කරන වැඩසටහන්වල දී අදාළ ප්‍රාදේශීය වාණිජ මණ්ඩල සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අත්‍යවශ්‍යතාව මෙහිදී හම්බන්තොට වාණිජ මණ්ඩලය විසින් අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති චමින්ද රුසිරු මාලියද්ද මහතාත් අධ්‍යක්ෂක ජනරාල්/පෙර සභාපති ටිලර් නාදුගල මහතාත් මෙහෙයුම් කළමනාකරු අජිත් ලියනගේ මහතාත් සහභාගී වී තිබේ.

Visits: 65