Eco Spindles වෙතින් ‘Waste 2 Value’ නමින් යෙදවුමක් (app)

BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම මහත් බලාපොරොත්තුවෙන් සිටි “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම (mobile app) පසුගියදා එළි දැක් වූ බව පවසයි.

ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව දියත් කරන ලද මෙම “Waste 2 Value” යෙදවුම මගින් අපේක්ෂා කරනු ලබන්නේ වගකිව යුතු ලෙස ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා මහජනතාව දිරිමත් කිරීම සහ රටේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි කසළ එකතු කිරීමේ ප‍්‍රයත්නයන් වඩාත් ශක්තිමත් කිරීමයි.

Google Play හෝ App Store වෙතින් මෙම යෙදවුම දැන් ලබා ගත හැකි අතර නිසියාකාරව කසළ බැහැර කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකුට දිවයින පුරා ඇති කසළ බඳුන් 300කට පමණ ඒ සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව මෙමගින් ලබා දෙයි. මේ තුළින් ඔවුන් බැහැර කරනු ලබන කසළ එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොමු කරනු ඇති අතර අපතේ යාමක් සිදු නොවේ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ‘‘පසුගිය වසර කිහිපය පුරාවට අපගේ හවුල්කරුවන් සමඟ එක්ව රට පුරා කසළ එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කරමින් සිටිනවා. “Waste 2 Value” යෙදවුම සමඟින් මහජනතාවට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීමට මෙම බඳුන් උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා. එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත් අප ඉදිරියේදී කටයුතු කරන අතර මෙම යෙදවුම හඳුන්වා දීම ඒ සඳහා වඩාත් වැදගත් හා නව්‍ය පියවරක් වනු ඇති.’’ යනුවෙන් පැවසුවේය.

මෙම උත්සවය සඳහා රජය හා කසළ කළමනාකරණ අංශය නියෝජනය කරමින් ප‍්‍රධාන පෙළේ අමුත්තන් සහ Eco Spindles හි ඉහළ කළමනාකාරීත්වය සහභාගී වී සිටියේය. මෙම යෙදවුම හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව උදෙසා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි සෑම ප්ලාස්ටික් බෝතලයකින්ම අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණය කිරීමේ සිය කැපවීම Eco Spindles නැවතත් අවධාරණය කර ඇත. තවද මහජනතාවට පහසුවෙන් සොයා ගත හැකි ස්ථානවල කසළ බඳුන් ස්ථාපිත කිරීමට සහාය වූ සමාගමේ ව්‍යාපාර හවුල්කරුවන්ට සමරු තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙම උත්සවයේදී සිදු විය.

‘‘අපගේ අරමුණ වන්නේ ප්ලාස්ටික් දුෂණයෙන් සිදු විය හැකි අහිතකර බලපෑම පිළිබඳව මෙරට සියලූම පුරවැසියන්ව දැනුවත්භාවයක් ලබා දීමටත් අප සැවොම එක්වුවහොත් පරිසර සංරක්ෂණයට හා අනාගත පරපුරට හරිත පරිසරයක් බිහි කිරීමට මේ තුළින් විශාල හැකියාවක් ඇති බවත් පෙන්වීමටයි. ඕනෑම පුද්ගලයෙකුට මෙම යෙදවුමෙන් ප‍්‍රතිලාභයක් ලබා ගත හැකි වනවා වගේම මේ ජාතික කර්තව්‍ය උදෙසා දායක විය හැකියි.’’

ස්මාර්ට් ජංගම දුරකතනයකට “Waste 2 Value” යෙදවුම බාගත කරගැනීමෙන් පසු ළඟම පිහිටි ප්ලාස්ටික් කසළ බඳුන් පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිය. තවද පරිශීලකයින්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකිව යුතු ලෙස බැහැර කිරීමට හරවත් අදහස් හා මතක් කිරීම් සමඟින් Eco Spindles හි ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට ද මෙම යෙදවුමෙන් ඔවුන්ව දිරිගන්වනු ලබයි.

Eco Spindles සමාගම ඉවත දමන PET බෝතල් එකතු කිරීම, ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම මෙන්ම රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා පොලියෙස්ටර් නූල් සහ ලොව පුරා සිටින බුරුසු නිපදවන්නන් සඳහා මොනෝෆිලමන්ට් නිෂ්පාදනය වැනි අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරනු ලබයි. 2019/20 වසර තුළදී Eco Spindles මිලියන 81කට වැඩි PET ප්ලාස්ටික් බෝතල්, එනම් කිලෝ ග‍්‍රෑම් මිලියන 2.3ක පමණ ප්ලාස්ටික් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර තිබුණි.

සමාගම සතුව ඔවුන්ට අවශ්‍ය PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා 400 ක පමණ එකතුකරන්නන්ගෙන් සමන්විත විශාල ජාලයක් සිටින අතර සම්පීඩනය කිරීමේ සංකීර්ණ 19ක් ඇත. එසේම සමාගම විසින් ශ‍්‍රී පාදය, කතරගම වැනි අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති හරහා තිරසාරත්වය කේන්ද්‍ර කොටගත් පොදු වැඩපිළිවෙල රැසක්ද සිදු කරනු ලබන අතර වෙරළ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ද එමගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

Visits: 95