වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් ‘ප්‍රේක්ෂා’ රක්ෂණාවරණය පිරිනැමේ

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් සැකසුනු ‘ප්‍රේක්ෂා’ රක්ෂණාවරණය එම ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාව අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.

‘ප්‍රේක්ෂා’ හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ලෙස මෙය නම් කෙරී ඇත. මෙම රක්ෂණාවරණ  ප්‍රදානය ‘ජනශක්ති’ රක්ෂණ සමාගම ඔස්සේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා මුදල් රක්ෂණාවරණයකට මෙමඟින් හිමිකම් ලැබීමට නියමිතව ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව පවසා තිබේ.

මෙහිදී ‘ප්‍රේක්ෂා’ හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලා කරුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් මෙහි දී සංකේතාත්මකව රක්ෂණාවරණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරිණි.

ජාතික උරුමයන් ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ සී. ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ, ජනශක්ත රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, ඇතුළු අමාත්‍යාංශය නිලධාරීන් ටවර් හෝල් රඟහල පදනමේ සාමාජිකයන්, ජනශක්ති රක්ෂණ ආයතනයේ නිලධාරීන් සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලා කරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගිවී ඇත.

Visits: 38