ඩො. මිලියන 700ක බටහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය මාස තුනකින් අරඹනවාලු

“ව්‍යාපෘතියේ 15%ක් වරාය අධිකාරියට හිමියි. අදානි වෙත 51%ක් හිමි බවට පළවන වාර්තා වැරදියි” – වරාය අධිකාරියේ සභාපති ජනරාල්. දයා රත්නායක

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි මාස තුනක කාලයක් ඇතුළදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා සඳහන් කළ බව ඉන්දියාවේ newsin.asia වෙබ් අඩවිය පවසයි.

ඉන්දියාවේ අදානි සමාගම (අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් ලිමිටඩ්) සහ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේද දායකත්වයෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. සභාපතිවරයාට අනුව මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 700 කි.

දැනටමත් අදානි සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් වෙතින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිය අභිමතය විමසා රජය වෙනුවෙන් වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය සහ වරාය අධිකාරිය ලිපි පවා යවා තිබේ. ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා ඇති සමාගම් දෙකම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උනන්දු වන බව පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති වරාය අධිකාරියේ සභාපතිවරයා මෙම ව්‍යාපෘතියේ 15% ක හිමිකාරීත්වයක් තම ආයතනය සතුව පවතින බව සඳහන් කර තිබේ. ඉන්දියාවේ අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් ලිමිටඩ් සමාගම සහ ශ්‍රී ලංකාවේ ජෝන්  කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් වෙත ඉතිරි 85%ක ප්‍රතිශතය හිමි වන බවත් සභාපතිවරයා පවසා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති
ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක

කෙසේ වෙතත් ඉන්දියාවේ අදානි සමාගම වෙත මෙම ව්‍යාපෘතියේ 51%ක කොටස් හිමිකාරීත්වයක් පවතින බවට පළ වන මාධ්‍ය වාර්තා වරාය අධිකාරියේ සභාපතිවරයා විසින් මෙහිදී ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදානි සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් නිකුත් කළ නිවේදන තුළත් සිය කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශත සම්බන්ධයෙන් සඳහන් කර නොතිබුණි. ඒ අතරින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කර තිබුණේ මෙම ව්‍යාපෘතියේ සැලකිය යුතු කොටස් ප්‍රතිශතයක් තමන්ටද අයිතිව ඇති බවකි.

“ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියේ 15%ක කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියනවා. ඒ වගේම ජපානයත් මේ සඳහා සහභාගිවීමට නියමිතව තිබෙනවා.” යනුවෙන් දයා රත්නායක මහතා මෙහිදී පවසා තිබේ.

එහෙත් රජය මුලදී යෝජනා කර තිබූ නැගෙහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ජපානය සම්බන්ධවීමට ගිවිසුම්ගතව තිබුණත්, එල්ල වූ විරෝධතා හමුවේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය වෙනුවට බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබා දීමට රජයට සිදුව තිබේ.

මෙම හවුල්කාරීත්වය යටතේ වසර 35ක කාලයක් සඳහා බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් පවත්වාගෙන යාම සහ ආපසු පැවරීම යන කටයුතු සිදුවීමට අදාළ සමාගම් එකඟතාව පළ කර ඇත. මීටර් 1400ක දිගකින් ඉදි කෙරෙන මෙම බටහිර බහාලුම් පර්යන්තයේ ගැඹුර මීටර් 20 කි. ඒ අනුව විශාල බහාලුම් ප්‍රවාහන නෞකා මෙහි හැසිරවීමේ හැකියාව පවතී.

මේ හරහා වසරකට බහාලුම් මිලියන 3ක් පමණ හැසිරවිය හැකි බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පවසයි. එසේම ලෝකයේ වඩාත් කාර්යබහුල ප්‍රවාහන ගමන් මාර්ගයක පිහිටි ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ වාසිය යොදා ගනිමින් ඉදිරියේදී මෙම බටහිර පර්යන්තයේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව ඉහළ නංවන බවටත් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සඳහන් කර තිබේ.

Visits: 468