කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් සේවාවේ පහසුකම් තවත් වැඩි කරයි

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන ComBank Q+ මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඩ්පත් සඳහා ක්ෂණිකව සහ පහසුවෙන් මුදල් බැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

මේ අනුව, ComBank Q+ ඇප් සේවාවේ ‘Bill payment’ මෙනුවේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෙර ගෙවුම් කාඩ්පත් සඳහා ගෙවීමේ විකල්ප ඇතුළත් කර තිබේ. බැංකුව සඳහන් කරන්නේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන  ඕනෑම වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා මෙම ඇප් පහසුකම භාවිතා කරමින් ගෙවීම් කළ හැකි බවයි. 

මෙහිදී, ගනුදෙනුකරුවන්ට සිය ගෙවීම් කිරීම සඳහා අංක 16 කින් යුතු තමන්ගේ කාඩ්පත් අංකය ඇතුළත් කිරීමට සිදුවේ. එක් වරක් ගෙවීමක් කළ විට එය ‘Favourites’ කොටසට ඇතුළත් කළ හැකි අතර ඉන් පසුව නැවතත් ගෙවීම් කිරීමේදී කාඩ්පත් අංකය යළිත් ඇතුළත් කළ යුතු නොවේ.

මෙම ගෙවීම් කිරීමේදී කාඞ්පත් අංකයෙහි නිරවද්‍යතාව ඒ මොහොතේම සනාථ කරන අතර,  ගනුදෙනුකරුවාගේ ක්‍රෙඩිට් කාඞ්පතට හෝ පෙරගෙවීම් කාඞ්පතට ක්ෂණිකව මුදල් බැර වන නිසා ComBank Q+ ඇප් පහසුකම මගින් ගෙවීම් කිරීමෙන් පසුව ඉක්මනින්ම කාඩ්පත මිලදීගැනීම් සඳහා භාවිතා කිරීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට හිමිවේ.

කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමේ මෙම නවතම වැඩිදියුණු කිරීමට අනුව ඬේටා රීලෝඩ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන, ස්ථාවර දුරකතන, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ) මෙන්ම ගාස්තු අයකරණ රූපවාහිනී බිල්පත් වැනි අංශ හයක බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අධ්‍යාපන ආයතන, රක්ෂණ සමාගම්, ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලට මුදල් යෙදවීමේ පහසුකම්ද ඇතුළත් කරමින් මෙම පහසුකම තවදුරටත් වර්ධනය කරන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ Q+ ඉතාමත් ශක්තිමත් අති නවීන ජංගම දුරකතන ඇප් පහසුකමක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් සහ iOS යන දෙවර්ගයේම උපකරණවල භාවිතා කළ හැකිවේ.

මෙය LANKAQR යටතේ එළිදැක්වූ ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් පළමු ගෙවීමේ ඇප් පහසුකම වන අතර කාඞ්පත් හිමියන් සහ වෙළෙඳුන්ට කිසිදු කරදරයකින් තොරව ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදෙමින් එය නිර්මාණය කර තිබේ. මේ සඳහා ලියාපදිංචි වීමට ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ මාස්ටර්කාඞ්, වීසා ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් භාවිතා කළ හැකිවේ.     

Visits: 41