ඇලුමෙක්ස් පීඑල්සී ලාභාංශ ගෙවීම කොටසකට ශත 40යි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇලුමෙක්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය සතියේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 40 බැගින් මුදල් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත. මෙහිදී 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවන බවත් එය දෙවැනි අතරමැදි ලාභාංශය වන බවත් ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 26 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 23 වැනිදා නම් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා කොටස්හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොමැති බවද ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 03 වැනිදා සිය කොටස් අතුරු බෙදීමක් සිදු කළ අතර එහිදී ඒ වන විට සමාගම මගින් නිකුත් කර තිබූ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් දෙකක් නිකුත් කිරීම සිදු විය. (1 : 2 අනුපාතය යටතේ) ඒ අනුව සමාගම මගින් නිකුත් කර තිබූ කොටස් සංඛ්‍යාව වූ 299,302,840 මේ වනවිට කොටස් 598,605,680ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමූහයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ඇලුමෙක්ස් පීඑල්සී ක්‍රියාත්මක වෙයි. අද (මාර්තු 15) දිනයේදී ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 10.80ක් ලෙස සටහන්ව ඇති අතර එය පසුගිය සිකුරාදා පැවැති එම සමාගමේ කොටසක අගය වූ රුපියල් 10.60ට සාපේක්ෂව ශත 20ක එනම් 1.89%ක ඉහළ යාමකි.

Visits: 196