අදානි හා එක්ව බටහිර පර්යන්තය සංවර්ධනයට JKH සූදානම්ලු

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම (Adani Ports and Special Economic Zone Limited) හා කටයුතු කිරීම සම්බන්ධයෙන් කැමැත්ත විමසීමක් (Letter of Intent) වරාය හා නාවික අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තමන් වෙත ලැබුණු බව එම සමාගමේ දේශීය හවුල්කරුවා වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ලැයිස්තුගත සමාගමක් ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ පිළිබඳව අනාවරණය කර සිටියි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති/සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ මහතාගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කෙරී ඇත.

“කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු ආකාරයට, ‍කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරමින් එය පවත්වාගෙන යාම සම්බන්ධව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින වරාය සහ නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනවලින් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම වෙත සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත ඒ පිළිබඳව කැමැත්ත විමසන ලිපියක් ලැබුණා.” ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී මෙහිදී පවසා සිටියි.

මෙම බටහිර බහාලුම් පර්යන්තය, කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස සිදු කෙරේ. එසේම මෙම බටහිර පර්යන්තය මීටර් 20ක ගැඹුරක් සහිත, ආසන්න වශයෙන් වාර්ෂිකව බහාලුම් මිලියන 3ක ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාවක් පවතින්නක් වන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සඳහන් කර සිටියි.

මෙහිදී අදාළ ව්‍යාපෘතිය සඳහා වන එකඟතාව වෙත ඉදිරියේදී පිවිසීමට නියමිතව ඇති බවත්, ව්‍යාපෘතිය තුළ සමකොටස් හිමිකාරීත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සතුව පවතින බවත් දැනුම් දී සිටියි.

එසේම මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ සැකැසුම් සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳව ඉදිරියේදී මතුවන අවශ්‍යතාව අනුව කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී මෙම ලිපිය හරහා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Visits: 370