CIC හෝල්ඩිංග්ස් රුපියල බැගින් මුදල් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය කෙරී ඇත.

CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

ඒ අනුව ලබන අප්‍රේල් 09 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස නම් කෙරී ඇති අතර, මාර්තු 19 වැනිදා ලාභාංශ රහිත දිනය (XD Date) ලෙසින් ප්‍රකාශයට පත් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීම සම්බන්ධ යෝජනාව සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී CIC හෝල්ඩිංග්ස් පීඑල්සීහි නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 44.70ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක් සඳහා වාර්තා කළ රුපියල් 45.60ට සාපේක්ෂව ශත .90ක එනම් -1.97%ක පහළ වැටීමකි.

එසේම අද දිනයේ ගනුදෙනු නිමාවේදී CIC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 56.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී වාර්තා කළ කොටසක අගය වූ රුපියල් 57.50ට සාපේක්ෂව රුපියල් 1.50 කින් එනම් 2.61% ක පහළ වැටීමකි.

Visits: 212