වාණිජ හා සංචාරක නගරයක් ලෙස මාතර නගරය විධිමත් කිරීමට පියවර

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.09 දින උපදෙස් දුන් බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මාතර නව නගරය, අකුරැස්ස, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද-පුහුල්වැල්ල, තිහගොඩ සහ වැලිගම නගරවල නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 02හි පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 17ක් මාතර දිස්ත්‍රික්කයට අයත් වේ. ඉන් පළාත් පාලන ආයතන 07ක් මුල් කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය යටතේ 2021-2030 දක්වා සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මකය.

ඒ යටතේ මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශිය සභාව, වැලිගම නගර සභාව, වැලිගම ප්‍රාදේශිය සභාව, දෙවිනුවර, හක්මන හා මාලිම්බඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සංවර්ධනය කෙරෙන බව මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.

නිල්වලා ගඟ දෙපස ඇති අනවසර ඉදිකිරීම් සංවර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බව ද එම නිලධාරින් හෙළි කළේය.

පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබු මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නැයි මෙහි දී අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

විශේෂයෙන් දැනට මාතර මහ රෝහල පවතින ස්ථානයේ හදිසි අනතුරු ප්‍රතිකාර සඳහා පමණක් වෙන් කරමින් අනෙකුත් ප්‍රතිකාර කටයුතු කොටවිල ඉදිකෙරෙන නව රෝහලට ගෙනයාම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

එහිදී පසුගිය ආණ්ඩුව කොටවිල රෝහලේ ඉදිවෙමින් තිබූ ගොඩනැගිලි 9ක කටයුතු නවතා දමා ඇති බව අනාවරණය විය. ඒ අනුව එම ගොඩනැගිලි ඉදිකිරීම වහාම ආරම්භ කරන්නැයි දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා රෝහලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් විය යුතු බව ප්‍රකාශ කළේය.

මේ අතර ගොඩගම හංදියේ සිට කඹුරුපිටිය දක්වා මාර්ගය මංතීරු 4කටත් කඹුරුපිටිය-කොටවිල දක්වා මාර්ගය මංතීරු දෙකකටත් සංවර්ධනය කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරින්ට මෙහිදී පැවරුවේය.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් පළ කරමින් කොටවිල ඉදි වූ මාතර නව උසාවි සංකීර්ණය නොබෝදිනකින් විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

එහි ඉදිකිරීම් වලට සමඟාමීව නීතිඥයන් වෙනුවෙන් කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ද ඉදිකරන්නැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රුපියල් මිලියන 700ක වියදමෙන් ඉදිකිරීම් ඇරඹූ ගොඩනැගිලි පසුගිය ආණ්ඩු සමයේ අතරමග නවතා දැමීමෙන් ඒවා දිරාපත්වෙමින් ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

දෛනිකව මාතර නගරයේ සහ වැලිගම නගරයේ ඝන අපද්‍රව්‍ය ටොන් 80ක් පමණ ඒකරාශිවන අතර ඉදිරියේ දී මෙම ඝන අපද්‍රව්‍ය තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

මේ අතර රුපියල් මිලියන 632ක් වැයකරමින් ඉදිකළ මාතර නගරයේ නිල්වලා ගඟ බඩ උද්‍යානයේ පළමු, දෙවැනි හා තෙවැනි අදියර මේ මස 31 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිතය. එහි සිවු වැනි අදියර මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

කඹුරුපිටිය නගර සංවර්ධනයට සමගාමීව  එහි පිවිසුම් මාර්ග මන්තීරු 4කින් යුතුව අඩි 66ක් දක්වා පළල් කිරීමටත් කඹුරුපිටිය මහා විද්‍යාලය සංවර්ධනය කිරීම පිළිබඳවත් මෙහි දී  අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

කඹුරුපිටිය මහ විද්‍යාලය මෙන්ම රටේ අනෙකුත් පාසල් සංවර්ධනය කිරීමේ දී ඒ සෑම පාසලකටම මීටර් 400ක ධාවන පථයක් සහිත ක්‍රීඩා පිටියක් ලබා දීමට සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා අදාළ බලධාරින්ට දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන කංචන විජේසේකර, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නිපුණ ආර් රණවක, වීරසුමන වීරසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු,  මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සහ රජයේ උසස් නිලධාරින් පිරිසක් එක්ව සිට ඇත.

Visits: 107