2020 දී ලොව සංචාරක පැමිණීම් 74% කින් පහතට වැටිලා

2020 වසරේදී ලොව පුරා ජාත්‍යන්තර සංචාරක පැමිණීම් ආසන්න වශයෙන් මිලියන 381ක් පමණක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක ලෝක සංචාරක සංවිධානය (UNWTO) පවසයි.

ඒ අනුව මෙය 2019 වසරේදී වාර්තා කර තිබූ ලොව සමස්ත සංචාරක පැමිණීම් ප්‍රමාණය වන බිලියන 1.5 හා සැසඳීමේදී බිලියනක එනම් 74%ක පහත වැටීමක් ලෙස සටහන්ව ඇත.

මෙලෙස සංචාරක කර්මාන්තයේ දරුණු කඩා වැටීම සඳහා ලොව පුරා ව්‍යාප්ත වුණු COVID-19 වසංගතය නිසා ලොව රටවල් පැනවුණු සංචරණ සීමා මූලික විය. එසේම ලොව සංචාරක ගමනාන්ත රැසක්ම වසා දැමීම සිදු විය.

එම සංවිධානය පවසන ආකාරයට මේ වසරේ පෙබරවාරි මාසය ආරම්භ වන විටත් ලොව පුරා හඳුනාගෙන තිබූ සංචාරක ගමනාන්ත 217කින් 69ක්ම සංචරණය සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 32% කි. ඉන් ගමනාන්ත 30ක් ආසියාවේ සහ පැසිපික් කලාපයේ පිහිටා ඇති අතර, යුරෝපයේ සහ අප්‍රිකාවේ පිළිවෙලින් ස්ථාන 15ක් සහ 11ක්ද ඊට ඇතුළත්ව ඇත.

කෙසේ වෙතත් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වුණු 2020 මැයි මාසයේදී වසා දමා තිබුණු ගමනාන්තවල ප්‍රතිශතය වූ 75%ට සාපේක්ෂව මෙය අඩුවීමක් වුවත්, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වසා තිබූ ගමනාන්ත ප්‍රතිශතය වූ 27% ට සාපේක්ෂව මෙම අගය ඉහළ යාමක් ලෙස සටහන්ව ඇත.

මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී පමණක් ගෝලීය සංචාරක කර්මාන්තය වෙත අහිමි වූ මුදල ඩොලර් ට්‍රිලියන 1.3ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇත. එය 2009 වසරේදී ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේදී සංචාරක කර්මාන්තය වාර්තා වූ අහිමිවීම් හා සාපේක්ෂ 11 ගුණයක වැඩිවීමකි.

කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේදී ලොව රාජ්‍යයන් රැසක්ම තම රටවලට පනවා තිබූ මෙම සංචාරක තහනම් ලිහිල් කරමින් පැවතියත්, නව වෛරස ප්‍රභේද මතු වීමත් සමගින්ම එම ප්‍රවණතාවන්ද යම් තරමකින් පසුබසිමින් තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රධානම ජාත්‍යන්තර සංවිධානය ලෙසද ලෝක සංචාරක සංවිධානය සැලකෙන අතර එහි මූලස්ථානය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පිහිටා තිබේ.

Visits: 57