සෙලාන් බැංකුවේ ණයකර නිකුතුව රුපියල් බිලියන 10 සිට 6ට අඩුවෙයි

සෙලාන් බැංකුව මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා යෝජිත ණයකර නිකුතුව සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් සිදු කරන බව එම බැංකුව ඊයේ (මාර්තු 08) නිවේදනය කර තිබුණි. එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මෙම වෙනස් කම් සඳහා කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම ණයකර නිකුතුව හරහා රැස් කිරීමට අදහස් කරගෙන සිටින මුදල රුපියල් බිලියන 6ක් වන බව එම බැංකුව පවසයි. එහිදී බාසෙල් III සම්මුතියට අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, නිදහස්කරවා ගත හැකි ණයකර ලෙස සහ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලෙස හුවමාරු කරවාගත හැකි ලෙස මෙම ණයකර නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ.

මෙහිදී මූලික ණයකර නිකුතුව ලෙස එක් ණයකරයක් රුපියල් 100 බැගින් ණයකර මිලියන 50ක් නිකුත් කිරීම සිදු කරයි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 5කි. එසේම ඒ සඳහා ඉදිරිපත්වන අධි ඉල්ලුම අනුව තවත් ණයකර මිලියන 10ක් ඉදිරිපත් කරන බවත් ඒ හරහා තවත් රුපියල් බිලියන 1ක් රැස් කිරීමත් අරමුණ වී තිබේ. ඒ අනුව සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 6 කි.

එසේම මෙම ණයකර කල්පිරීමේ කාලය වසර පහක් වන බවත්, ඊට අදාළ වන පොළී අනුපාතයන් මෙම ණයකර නිකුතුවට පෙරාතුව අධ්‍යක්ෂ මණ්ඩල විසින් දැනුම් දෙනු ඇති බවත් බැංකුව සඳහන් කරයි.

එහෙත් පසුගිය වසරේ ජූලි 30 වැනිදා පළමුවරට ප්‍රකාශයට පත් කෙරුණු සෙලාන් බැංකුවේ මෙම ණයකර නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියනය 10 ක් විය. එහිදීද ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරී තිබුණී. ඒ අනුව මූලික නිකුතුවේදී රුපියල් බිලියන 5ක්ද, ඊට ඉදිරිපත් වන අධි ඉල්ලුමෙන් අනතුරුව තවත් බිලියන 3ක්ද, ඉන් අනතුරුව තවත් බිලියන 2ක්ද රැස් කරගන්නා ආකාරයට එය ඉදිරිපත් විය.

මේ අතර, පසුගිය නොවැම්බර් 27 වැනිදා යළිත් නිවේදනයක් නිකුත් කළ සෙලාන් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ණයකර නිකුතුව පිළිබඳ යෝජනාව තවදුරටත් කල්දමන බවත්, 2021 වසරේ පළමු කාර්තුවේදී වෙළෙඳ පොළ පවතින තත්ත්වයන් පිළිබඳව සලකා බලා එය නිකුත් කිරීමට කටයුතු යොදන බවත් පවසා තිබුණි.

ඒ අනුව මෙම වෙනස්කම්ද සමගින් සෙලාන් බැංකුවෙහි ණයකර නිකුතුව ඉදිරියේදී සිදු කිරීමට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ දිනයේදී පැවැත් වූ රැස්වීමේදී තීරණය කර ඇත.

Visits: 167