සෞදි කොටස් වෙළෙඳ පොළ වසර හයකට පසු ඉහළම අගයට

සෞදි අරාබියේ කොටස් වෙළෙඳ පොළ වසර හයකට පසුව පත් වූ ඉහළම අගය වාර්තා කිරීමට‍ ඊයේ (08දා) සමත් වූ බව වාර්තා පවසයි. ඒ අනුව ඊයේ දිනයේ සෞදි අරාබියේ කොටස් වෙළෙඳ පොළ තුළ සිදු වූ සමස්ත ගනුදෙනුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.32ක් ලෙස සටහන්ව ඇත.

එම කොටස් වෙළෙඳ පොළ වාර්තාවලට අනුව එරට ටඩාවුල් සියලු කොටස් මිල දර්ශකය (TASI) පෙර දිනයට සාපේක්ෂව 0.3% කින් එනම් ඒකක 23කින් ඉහළ නැග තිබේ. ඒ අනුව දිනය නිමාවේදී එය ඒකක 9,374ක් බවට පත්ව ඇති අතර, 2015 වසරෙන් පසුව එම දර්ශක අගය පත් වූ ඉහළම අගයද මෙයයි.

නව කොරෝනා වසංගතයේ බලපෑම නිසා පසුබැසීමකට ලක්ව තිබූ සෞදි කොටස් වෙළෙඳ පොළ, ඊයේ දිනයේ වාර්තා කළ මෙම ගනුදෙනුද සමගින් පිට පිට දෙවැනි දිනටත් ඉහළ නැගීමක් වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම මූල්‍ය සමාගම් හි කොටස් වටිනාකම් ඉහළ යාම මෙලෙස දර්ශක ඉහළ යාමට හේතුව වී ඇත. එහිදී Al Rajhi බැංකුවේ කොටස් 2% කින්ද, Samba මූල්‍ය සමූහයේ වටිනාකම් 1.4% කින්ද ඉහළ නැග තිබේ.

එසේම පසුගිය ඉරිදා දිනයේදී සෞදි අරාබියේ ඇරැම්කෝ බොරතෙල් පරිශ්‍ර වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරත් සමගින් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ක් මට්ටමට ළගා වීමත් මෙලෙස එරට කොටස් වෙළෙඳ පොළ දර්ශක ඉහළ යාමට දායකත්වයක් ලබා දී ඇත. කොරෝනා වෛරස ව්‍යාප්තියේ ආරම්භයෙන් අනතුරුව බොරතෙල් බැරලයක මිල එම අගයට පත් වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

Visits: 281