සෙලින්කෝ ලයිෆ් සිය අලෙවි බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළ නංවයි

කාන්තාවන් සඳහා සම අවස්ථාවක් ලබාදෙමින් 2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 4,300 ක් වන අලෙවි කණ්ඩායමෙන් 49.1% ක් කාන්තාවන් බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කරයි.

මීට දශකයකට පෙර සමාගමේ අලෙවි බලකායෙන් 32% ක් පමණ කාන්තාවන් වූ බවත් වසර දහයකට පසුව සිදුවූ මෙම වෙනස්වීම කැපී පෙනෙන ජයග‍්‍රහණයක් බවත් සමාගම සඳහන් කරයි. සේවා ස්ථානය තුළ කාන්තාවන්ට සම අවස්ථාවන් ලබාදීමට, කර්මාන්තය තුළ වෘත්තීයභාවය ප‍්‍රවර්ධනය කිරීමට සහ ජීවිත රක්ෂණ අලෙවිකරුවෙකු පිළිබඳව තිබෙන සාම්ප‍්‍රදායික මතය වෙනස් කිරීමට සමාගම දරා තිබෙන උත්සාහය මෙම ජයග‍්‍රහණය තුළින් පිළිඹිබු වේ. 

සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ සෙලින්කෝ ලයිෆ් අලෙවි උපදේශකයින්ගෙන් 58% ක්, අලෙවි විධායකවරුන්ගෙන් 30.9% ක්, සහ ශාඛා ප‍්‍රධානීන්ගෙන් 10.4% ක් කාන්තාවන් බවයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ජීවිත රක්ෂණ අලෙවිකරණය තුළ ආධිපත්‍යය තිබුණේ පිරිමි පාර්ශවයටයි. මෙම ක්ෂේත‍්‍රයේ කාන්තාවන් නියෝජනය කළේ අඩු වශයෙන්. රක්ෂණ අලෙවිය කාන්තාවන්ට දුෂ්කර රැකියාවක් යැයි වැරදි මතයක් තිබුනා. නමුත් සේවකයින් බඳවාගැනීමේ ප‍්‍රතිපත්තිය, පුහුණු සහාය, දිරිදීම සහ හඳුනාගැනීම අප සමාගමේ ස්ත‍්‍රී පුරුෂ අසමානතාවයකින් තොරව සිදුකරනවා. අප සමාගම තුල ඇති වාතාවරණය නිසා අපේ අලෙවි කණ්ඩායමේ ඉහළ කාන්තා නියෝජනයට අමතරව නිතරම කාන්තාවන් පිරිමින් අභිබවා යෑමේ අවස්ථා දක්නට තිබෙනවා.’  

එසේම, 2020 වසරේදී සෙලින්කෝ ලයිෆ් සමාගමෙන් Million Dollar Round Table (MDRT) සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාවෙන් 33% ක්ම කාන්තාවන් වීම කැපී පෙනේ. සමාගම 2011 වසරේ සිට ජාතික අලෙවි කොංග‍්‍රසයේ සම්මාන සඳහා ඉදිරිපත් වූ අතර එහිදී 2015 සහ 2016 වසර වලදී විශිෂ්ටතම කාන්තා අලෙවි නියෝජිතවරිය වැනි කැපී පෙනෙන ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය.

2019 වසරේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශ්‍යාමලා දෙල්වල සහකාර කළමනාකාර මට්ටමේ අනිකුත් අලෙවි සහාය අංශයෙන් රන් සම්මානයත්, විධායක අංශයෙන් කේ. ඞී. එල්. එන්. ඉනෝකා රිදී සම්මානයත් දිනාගන්නා ලදී. මෙම සම්මාන දෙකම දිනාගත්තේ ජාතික අලෙවි කොංග‍්‍රස් සම්මාන ප‍්‍රදානයේ ජීවිත රක්ෂණ අංශයෙනි.

අනිකුත් ජයග‍්‍රහණ සැලකීමේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිණිය වන උපමාලිකා රත්නායක සමාගමේ ප‍්‍රධාන තොරතුරු නිළධාරී තනතුරට පත්වූ පළමු කාන්තාවයි. ඇය 2017 වසරේදී ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණික කාන්තා සංගමය විසින් සංවිධානය කළ පළමු කාන්තා තොරතුරු තාක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී වසරේ තොරතුරු තාක්ෂණික නිළධාරිනිය ලෙසින් ද සම්මානයට පාත‍්‍රවිය.

Visits: 40