වින්ඩ්ෆෝර්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව මාර්තු 24 දා ඇරඹේ

මෙරට මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති සිය මූලික මහජන කොටස් නිකුතුව ලබන මාර්තු 24 වැනිදා ආරම්භ කෙරෙන බව පවසයි.

මෙම මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් වන CAL සමාගම සිය වෙබ් අඩවිය හරහා මේ පිළිබඳව දැනුම් දී සිටියි.

මෙම නිකුතුව හරහා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 202,615,341ක් නිකුත් කෙරෙන අතර, එය සමාගමේ කොටස් අතරින් 15%ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක වටිනාකම රුපියල් 16ක් ලෙස නම් කෙරී ඇත. ඒ අනුව මෙම නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් 3,241,845,456 කි.

එම කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුවෙහි සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සියලුම උපදෙස් අනුකූලව එම නිකුතුව සිදු කෙරෙන බවත් වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම පවසයි.

මෙහිදී අදාළ මූලික මහජන කොටස් නිකුතුව මිලදී ගැනීම සඳහා වන විවරණිකාව සහ ඊට අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගත හැකි සබඳතා තුනක්ද CAL සමාගම මගින් ප්‍රසිද්ධියට පත් කෙරී ඇත.

ඒ අනුව CAL: https://cal.lk/windforce-limited-ipo/ හෝ WindForce : https://lnkd.in/gu_cM7z හෝ CSE: https://lnkd.in/gAtHbE9 යන වෙබ් සබඳතා වෙත පිවිස එම ඉල්ලුම්පත්‍රය සහ විවරණිකා ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

මෙහිදී ඉදිරිපත් වන එක් ඉල්ලුම්පත්‍රයක් හරහා මිලදී ගත හැකි අවම කොටස් සංඛ්‍යාව 100 කි. එනම් රුපියල් 1,600ක් වටිනා කොටස් ප්‍රමාණයකි. එසේම අවම කොටස් සංඛ්‍යාව ඉක්මවන ඉල්ලුම්පත්‍ර කොටස් 100 ගුණාකාරවලින් ඉදිරිපත් විය යුතු බවත් සමාගම පවසයි. මෙහිදී අවම ඉල්ලුම ලෙස ඉදිරිපත් වන කොටස් 100 සුදුසුකම් සහිත සෑම ඉල්ලුම්කරුවෙකු වෙතම වෙන් කෙරෙන බවත් සඳහන් වෙයි. මෙම මහජන කොටස් නිකුතුවේ අවසන් දිනය ලබන අප්‍රේල් 15 වැනිදා ලෙස සඳහන් කෙරී ඇත.

Visits: 428