ප්‍රභාෂ්ගේ ‘අයෙන්කා හෝල්ඩිංග්ස්’ සම්පත් බැංකු දෙවැනි වැඩිම කොටස්හිමිකරු වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 38,145,797ක් අත්පත් කරගැනීමට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතාට අයත් අයෙන්කා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට හැකියාව ලැබී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙය සම්පත් බැංකුව මගින් මෙතෙක් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් අතරින් 10%ක ප්‍රතිශතයක් හා සමානවීමද කැපී පෙනෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයාද ප්‍රභාෂ් සුභසිංහ මහතා විසින් 2016 වසරේදී ආරම්භ කළ සීමාසහිත අයෙන්කා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට ආයෝජන සමාගමක් ලෙස ක්‍රියාත්මක වෙයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා නිකුත් වුණු සම්පත් බැංකුවෙහි 2019 වාර්ෂික වාර්තාවට අනුව 2019 දෙසැම්බර් 31 වැනිදා විට අයෙන්කා හෝල්ඩිංග්ස් පෞද් සමගාම සතුව ඇති සම්පත් බැංකු කොටස් හිමිකාරීත්වය 17,787,054ක් එනම් 4.66%ක ප්‍රතිශතයකි. එසේම 2020 දෙසැම්බර් 31 වැනිදා වන විට එම කොටස් ප්‍රමාණය මිලියන 20.49ක් එනම් 5.37%ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම සමාගම සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් මගින් සිදු කරන ලද සම්පත් බැංකුවෙහි කොටස් අත්පත් කරගැනීම හරහා එම ප්‍රතිශතය 10%ක් දක්වා දෙගුණයක් බවට පත් කරගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අයෙන්කා හෝල්ඩිංග්ස් හිමිකරු ප්‍රභාෂ් සුභසිංහ මහතා සම්පත් බැංකුවෙහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවටද පත්වෙයි.  

2019 වාර්ෂික වාර්තාවට අනුව එහි වැඩිම කොටස් හිමිකාරීත්වය වන 57,039,028ක් වැලිබල් වන් පීඑල්සී සමාගම සතුවෙයි. එහි ප්‍රතිශතය 14.95 කි. දෙවැනි තැන පසු වූයේ කොටස් 38,041,260ක් හිමි සේවක අර්ථසාධක අරමුදලටයි. එහි ප්‍රතිශතය 9.97% කි. එසේම සිව්වැනියට වැඩිම කොටස් හිමිකරුවා වන ඉන්ද්‍රා ද සිල්වා මහතා සතු කොටස් ප්‍රතිශතය 8.2% කි.

ඊයේ දිනය වනවිට සම්පත් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 151 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 154.50ට සාපේක්ෂව රුපියල් 3.50කින් එනම් 2.27%ක අඩුවීමකි.

සුභසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ටයර් නිෂ්පාදන සමාගම වන ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස්, මුහුදු ආහාර අපනයන සමාගම වන ග්ලෝබල් සී ෆුඩ්ස් සහ ග්ලෝබල් ෆිෂරීස් යන සමාගම් අයෙන්කා හෝල්ඩිංග්ස් හා අනුබද්ධිත සමාගම් වෙයි.

ආයෝජන සමාගමක් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි විවිධාංගීකරණය වූ සමාගම් රැසක් තුළම මුදල් ආයෝජනය කරන්නට අයෙන්කා හෝල්ඩිංග්ස් පෞද් සමාගම පියවර ගෙන ඇත. එහිදී මූලිකවම රක්ෂණ, බැංකු, පුනර්ජනනීය බලශක්ති සහ දේපළ වෙළෙඳාම් යන අංශ කැපී පෙනෙයි.

ඒ අනුව සම්පත් බැංකුවට අමතරව සෙලින්කෝ රක්ෂණ සමාගම, සණස සංවර්ධන බැංකුව, NPH ඩිවලොප්මන්ට් පෞද් සමාගම, රිසුස් එනර්ජි පීඑල්සී සහ පෑන් ඒෂියා පවර් යන සමාගම් තුළ මුදල් ආයෝජනය කිරීමට අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගම පියවර ගෙන ඇත.

ආසන්න කාලසීමාවේදී සම්පත් බැංකුවෙහි කොටස් හිමිකම් පැවැති විදේශීය ආයෝජකයන් සිය කොටස් අලෙවි කිරීමත් සමගින්ම එම කොටස් මිලදී ගැනීමට අවස්ථාව හිමි වීම මෙලෙස දේශීය ව්‍යාපාරිකයන් වෙත සිය කොටස් ප්‍රතිශතය ඉහළ නැංවීමට අවස්ථාව උදාවී තිබෙන බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

දත්ත අනුව 2020 වසර අවසන් වන විට සම්පත් බැංකුව සතුව තිබූ මිලියන 60.23ක විදේශීය කොටස් හිමිකාරීත්වය ඊයේ දිනය වනවිට මිලියන 30.8ක් දක්වා අඩකින් පමණ අඩු වී ඇත. එහිදී පසුගිය ජනවාරි අවසන් සතියේ සිට ඊයේ දක්වා කාලය තුළ විදේශිකයන් විසින් අලෙවි කළ සම්පත් බැංකුවෙහි කොටස්වල වටිනාකම රුපියල් බිලියන 5ක් පමණ වන බවත් පැවසෙයි.

Visits: 1118