මාස දෙකකදී ASPI යළිත් ඒකක 7,000 ආසන්නයට පසු බසී

කොළඹ කොටස් හුවමාරුවෙහි පවතින කඩා වැටීම තවදුරටත් පෙන්නුම් කරමින් අද (මාර්තු 03) දිනයේ ගනුදෙනු නිමාවේදීද දර්ශක අගයන් ඍණ අගයන් බවට පත් විය. එහිදී ආයෝජකයන් තුළ පවතින විශ්වාසයේ කඩා වැටීම මෙන්ම ණය පියවීම පිළිබද කාරණාද එහිදී මූලික වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් දිනයේ අවසන් භාගයේදී දර්ශක අගයන් යම් යථාවත්වීමක් පෙන්නුම් කළද, කොටස් අලෙවිය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ තිබූ පීඩනය නිසා එම අගයන් තවදුරටත් පහත වැටීමක් සිදු වූ බවද එම සමාගම් සදහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,141.31ත් ඒකක 7,333.88 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,193.09 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 02) දිනයට සාපේක්ෂව ඒකක 150.29 ක් එනම් -2.05%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව දරුණු ලෙස කඩා වැටී තිබූ  කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) පසුගිය ජනවාරි 7 වැනිදා ඒකක 7,000 සීමාවට පත් වීමෙන් අනතුරුව යළිත් එය එම සීමාවට ඉතාමත් සමීප වූ පළමු අවස්ථාව මෙය ලෙසත් සැලකෙයි. පසුගිය ජනවාරි 27 වැනිදා එම අගය ඒකක 8,800ත් ඉක්මවීය.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 14.9%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 25ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 159ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+9.75), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+6.4), කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී KFP (+0.39), ලාෆ්ස් පවර් පීඑල්සී LPL (+0.31), ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී LHCL (+0.26), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-20.92), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-6.79), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-6.32), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-5.86), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-5.81) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,836.75 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 02) දිනයට සාපේක්ෂව ඒකක 73.02 ක එනම් -2.51%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.43ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 02) වාර්තා කළ රුපියල් බිලියන 1.98ට සාපේක්ෂව 22% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.25%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 420.64ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 418.13ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 2.51කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.22ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20 කි. එසේම හේකාර්බ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 27.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 661ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 625ක සහ රුපියල් මිලියන 391ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 254