සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් සිතන්නැයි මහ බැංකුවට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාව පවසයි. පසුගියදා එම කාරක සභාව හමුවට‍ පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

සීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ බැංකු මෙන් කටයුතු නොකරන ලෙසද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන්ට නිර්දේශ කර තිබේ.

මෙහිදී රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ මුදල් මණ්ඩලය සිය වගකීම නිවැරදිව ඉෂ්ට කළ යුතු බවත්, ඕනෑම රටකට මූල්‍ය ශික්ෂණය පවත්වාගෙන යාම අතිමූලික සාධකයක් බවත්ය.

ඒ අනුව, විශේෂයෙන්ම මෙරට ව්‍යවසායකයින් නගා සිටුවීම පිණිස නව සංවර්ධන මූලෝපායන් රජයේ මූදල් කාරක සභාවට ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට සභාපතිවරයා නියෝග කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ දේශීය වශයෙන් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද යෝජනා ක්‍රමය යටතේ 2021 පෙබරවාරි 19 වැනිදා වනවිට ඩොලර් මිලියන 323 ක විශාල ඉතුරුම් ශේෂයක් පවත්වාගෙන යාමට සමත්ව ඇතැයි පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වීමෙන් පසු මෙම උපදෙස් ලබාදීම සිදු කරන ලදි.

මෙම ඉතුරු කිරීමේ විශේෂ තැන්පතු ගිණුම සඳහා වාර්ෂිකව 2% ක තැන්පතු පොලියක් ලැබෙන අතර එය රටට මෙන්ම විදේශගත ලාංකිකයන්ටද වාසිදායක තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන මෙබඳු යහපත් යෝජනා ක්‍රම වඩා වැඩි ප්‍රචාරණයකින් යුතුව ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවට කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.

මෙම රජයේ මුදල් පිළිබඳව කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වී තිබේ.

Visits: 359