ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීම සඳහා ගෙන ඇති පියවර CNN නාලිකාවේ ඇගයීමට

ජාත්‍යන්තර ජනමාධ්‍ය අතර ඉදිරියෙන්ම සිටින කීර්තිමත් ප්‍රවෘත්ති නාළිකාවක් වන CNN විසින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) ඇගයීමට ලක්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ප්‍රබල ශක්තියක් ලබා දෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නගාසිටුවීම සඳහා නව්‍යකරණ ක්‍රමවේදයක් හරහා නව සාමාන්‍ය වාතාවරණයකදී (New Normal) ගනු ලැබූ විශිෂ්ට උත්සාහය හා කැපවීම වෙනුවෙන් CNN ප්‍රවෘත්ති නාළිකාව මෙම ඇගයීම සිදුකර ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට නිදහස් නීරෝධායන සංචාර හෙවත් Quarantine free සංචාරක අවස්ථා නිර්මාණය කරදීමට අදාල පාලන අධිකාරීන් කල්පනා කරන ලදී. ඒ සඳහා ජෛව බුබුළු (bio-bubble) සංකල්පය භාවිතා කළ අතර ආරක්ෂිත හා සුරක්ෂිත හෝටල් සහතිකය හඳුන්වා දීමෙන් සංචාරක හෝටල් සේවක පිරිස් සංචාරක කර්මාන්තයෙහි නියැලි ව්‍යාපාරික පාර්ශවකරුවන්, දේශීය ජනයාගේ ආරක්ෂාව සහතික කර ඇත. සුරක්ෂිතතා මාර්ගෝපදේශ භාවිතයෙන් ශ්‍රී ලංකා සංචරණය මූලිකත්වයෙන් මෙහෙයවූ නව්‍යකරණ කළමනාකරණ ආදර්ශය මෙහිදී විශේෂයෙන්ම කැපී පෙණිනි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද එම මාර්ගෝපදේශයන්, කර්මාන්තයෙහි අවශ්‍යතාවය අනුව සංචාරක අධිකාරිය විසින් භාවිතයට ගන්නා ලදී. කරුණු තුනක් මත පදනම්වන මෙම නව්‍ය ක්‍රමවේදය නිසා මෙම කාලසීමාවේදී ශ්‍රි ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ අවධානයට ලක්විය.  මෙම ක්‍රමවේදය අනුව සංචාරය කිරීමට අනුකූලතාවය දැක්වීම නිසා සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයින්ට අදාල සංචාර බුබුල නොබිඳී පවත්වාගැනීම සිදු කළ හැකි අතරම, රටට අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කිරීමේ මගත් නැවතත් විවෘත වේ.

CNN නාලිකාවේ ‘First Move with ‘Julia Chatterley’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම නව්‍ය ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයෙහි සභාපතිනිය – කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ ‘නීරෝධායන මධ්‍යස්ථාන’ පිහිටුවීම හා එන්නත්කරණ වැඩසටහන සංචාරක කර්මාන්තය තුළ ක්‍රියාත්මක කිරීම ඇතුළුව කොවිඩ් වසංගතය පාලනය හා එය කළමනාකරණය සඳහා ආරම්භයේ සිටම රජය ගෙන ගිය ක්‍රියාකාරී යාන්ත්‍රණය අතිශය ඉහළ වැදගත්කමක් ගන්නා බවයි. 

මේ වන විට මෙරට සංචාරය සඳහා පැමිණෙමින් සිටින විදෙස් සංචාරකයින් සහ ඒ සමග මතුවන වෙළෙඳපොල ප්‍රවණතා ඉදිරියේදී සංචාරක කර්මාන්තය විසින් ඉල්ලා සිටින අවශ්‍යතා පිළිබඳව කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැහැදිලි කළ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

Visits: 63