අලියාන්ස් ලංකා වෙතින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට වායු සමීකරණ යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සඳහා වායු සමීකරණ උපකරණ පිරිනමමින් සිය, සහයෝගය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලද බව පවසයි.

මීගමුව කලාපයේ ප්‍රමුඛතම සෞඛ්‍ය පහසුකම්වලින් සපිරි රෝහලක් වන මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව නාගරික හා තදාසන්න ප්‍රදේශයන්හි මහජනතාවට අවශ්‍ය මූලික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ලබයි. එමෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපය සඳහාද අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මඟින් ලබා දීම සිදු කරයි.

සෑම සතියකම රෝගීන් 200කට වැඩි ප්‍රමාණයක් සහ රුධිර පරිත්‍යාගශීලීන් 150කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් සේවය සළසන රෝහලේ ලේ බැංකුවෙහි මෙම වායු සමීකරණ උපකරණ ස්ථාපනය කරනු ලැබීය. ලේ බැංකුවට උසස් සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් වායු සමීකරණ යන්ත්‍ර ඉතා වැදගත් සේවාවක් සිදු කරයි. තවද ලේ බැංකුවේ ශක්‍යතාවන් ඉහළ නැංවීම තුළින් රෝගීන්ට සහ රුධිර පරිත්‍යාගශීලීන්ට ඉහළ මට්ටමේ ආරක්ෂාවක් මෙන්ම සහයෝගයක් ලබා දීමට ඉවහල් වනු ඇත.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා විසින් රෝහල වෙත අදාළ වායු සමීකරණ යන්ත්‍ර ප්‍රදානය කළ අතර එම අවස්ථාව සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන අලෙවි නිළධාරී මංගල බණ්ඩාර, අලෙවි කළමනාකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නියෝජනය කරමින් පැමිණි අනෙකුත් නියෝජිතයන්ද එක්ව සිට ඇත.

එසේම එම අවස්ථාව සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ආශා ද අල්විස් සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවේ හිටපු වෛද්‍ය නිළධාරී නිමේෂ් පතිරණ යන මහත්ම මහත්මීන්ද එක්ව සිට තිබේ.

Visits: 48