සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් ගණුදෙනු මාර්තු 26 සිට 30 තෙක් අත්හිටුවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු ලබන මාර්තු 26 වැනිදා සිට 30 වැනිදා දක්වා අත්හිටුවීමක් සිදු කරන බව එම සමාගම නිවේදනය කරයි.

සමාගම මගින් යෝජිත සිය කොටස් අතුරු බෙදීම හේතුවෙන් මෙලෙස එම කොටස් ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ. ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන එම සමාගමේ මහා සභා රැස්වීමෙන් අනතුරුව එම දිනය අවසානයේදී පැවැති කොටස් හිමිකාරීත්වය අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට නියමිතව ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළ ආකරයට පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් තුනක් (1ට 3 අනුපාතයට) නිකුත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 149,554,103 සංඛ්‍යාව කොටස් 448,662,309 ක් දක්වා ඉහළ යාමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සිය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කෙරෙහි කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන මෙම මහා සභා රැස්වීමේදී ලැබෙන අනුමැතිය අනුව සිදු වීමට නියමිතව තිබේ.

Visits: 127