RPC වතුවලට නැවත එල්ල වූ මැර ප්‍රහාරය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හෙළා දකියි

කලාපීය වැවිලි සමාගම්වලට (RPC) අයත් වතු සමාගම් දෙකක වතු අධිකාරීවරයෙකුට හා සහකාර වතු අධිකාරීවරයෙකුට නැවත වරක් එල්ල වූ දරුණු මැර ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

මෙම දරුණු ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සේවකයින් දෙදෙනා මේ වන විට රෝහල්ගත කර ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වී වතුකරයේ සිදුවන මෙවැනි නීතිය හා සාමය බිඳ වැටීම් වළක්වා ගැනීමට සහාය වන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

‘‘මේ වසරේදී පමණක් RPC වතුවල සේවකයින්ගේ ජීවිත තර්ජනයට ලක් වූ තුන්වන අවස්ථාව මෙයයි. RPC වතුවල තේ නිෂ්පාදන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් සංවිධානාත්මක මැර කල්ලියක් විසින් වතුකම්කරුවන් හා වතුකම්කරුවන් නොවන පිරිස් පෙළඹවීමෙන් සිදු කරන මෙවැනි ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා හා බිය වැද්දීම් පිළිබඳව අපගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේය.

‘‘නීතිය හා සාමය මෙතරම් දරුණු ලෙස බිඳ වැටීමට ඉඩ දී බලා සිටීම සහ වතුකරයේ ප‍්‍රජාව ප‍්‍රචණ්ඩකාරීත්වයට පොළඹවන මෙවැනි පුද්ගලයින්ට නීතිය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳව ද අප පුදුම වෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හේලීස් වැවිලි සමාගම් සමූහයට අයත්  ඕල්ටන් වතුයායේදී මෑතකදී සිදු වූ මෙම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාව, වතුකම්කරු වැටුප් පිළිබඳව වෘත්තීය සමිති හා RPC වෙනුවෙන් පෙනී සිටි ලංකා සේව්‍ය සම්මේලනය අතර පසුගියදා කම්කරු අමාත්‍යංශයේදී පැවති ඉහළ මට්ටමේ සාකච්ඡා සමඟ සම්බන්ධයක් පවතින බව දක්නට ඇත.

ඕල්ටන් වතුයායේ දෛනික වතුකම්කරු වැටුප රුපියල් 1000ක් කිරීමට RPC වලට බල කිරීම සඳහා වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක නිරත වෙමින් එම වතුයායේ තේ කර්මාන්තශාලාවේ මෙහෙයුම්වලට බාධා කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ජනයට පෙර නෙලා ගන්නා ලද තේ දළු කිලෝග‍්‍රෑම් 7000ක පමණ ප‍්‍රමාණයක් නාස්ති වී ඉවත දැමීමට සිදු විය.

ඉන්පසු ඔවුන් වෙන්දේසියේදී විකිණීමට හා බෙදා හැරීමට සූදානම් කර තිබූ තේ තොගයක් කර්මාන්තශාලාවෙන් පිටතට ගෙන ඒමට ඉඩ නොදී බලහත්කාරයෙන් එය වළක්වා තිබේ. මෙම සමස්ත තේ තොගය සඳහා රුපියල් මිලියන 6ක මුදලක් ජාත්‍යන්තර ගැණුම්කරුවෙකු විසින් ඒ වන විටත් ගෙවා අවසන්ව තිබුණි. මෙම ගනුදෙනුව සඳහා සමාගම නීත්‍යනුකූලව බැඳී සිටින හෙයින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කළමනාකරුගේ නිවෙසට කඩා වැදී අලාභ හානි කිරීම, ගෘහභාණ්ඩ හා පුද්ගලික දේපලවලට හානි කිරීම, කර්මාන්තශාලාවල ජලය හා විදුලි සැපයුම් ක‍්‍රියාවිරහිත කිරීම සහ වතු අධිකාරීවරුන්ට, සහකාර වතු අධිකාරීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ශාරීරික හිරිහැර කිරීමට  වෘත්තීය සමිති කම්කරු කල්ලිවලට ආධාර අනුබල දීම සාමාන්‍ය තත්වයක් බවට පත් වෙමින් තිබෙන බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

‘‘විශේෂයෙන් අපේ රටට විදේශ විනිමය අවශ්‍යම මොහොතක මෙම තේ තොගය බෙදා හැරීම නැවැත්වීම නරක ප‍්‍රතිවිපාක ගෙන දෙන්නක් වන අතර එමගින් අපනයන ඉපැයීම්වලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.’’

‘‘වෙන්දේසිවලට යැවීම සඳහා තිබූ තේ බෙදා හැරීම අවහිර කිරීමෙන් විදේශ වෙළෙඳපොළ මෙන්ම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායම අහිමි වීමේ අවාසනාවන්ත තත්වය තේ කර්මාන්තය අඩපණ කරනවා පමණක් නොව ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.’’ යනුවෙන් ඔබේසේකර මහතා පවසයි.

‘‘තේ කර්මාන්තය යනු කොවිඞ්-19 වසංගතය පුරාවටම අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ ක්ෂේත‍්‍රයක් වන අතර වතුකරයේ වෙසෙන සෑම කෙනෙකුටම ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය සැපයුම් මෙන්ම ආදායම් මාර්ගයක් සලසා දීම සහතික කිරීම සඳහා අපට හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. එමෙන්ම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය විදේශ විනිමය ද අප සපයා දීමට කටයුතු කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

පෙබරවාරි 17 වනදා  ඕල්ටන් වතුයායේ සිදු වූ මෙම දරුණු මැර ප‍්‍රහාරය RPC වතුවලට එරෙහි ප‍්‍රහාර මාලාවේ නවතම සිදු වීම ලෙස පෙන්වා දිය හැකියි. මීට හරියටම මසකට පෙර ලංකා කම්කරු කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. රාමේශ්වරන්ගේ මෙහෙය වීමෙන් කඳපොල පාර්ක් වතුයායේ පුහුණු සහකාර වතු අධිකාරීවරයා දරුණු මැර ප‍්‍රහාරයකට ලක් වූ අතර ඔහුව එම පරිශ‍්‍රයෙන් මුදා ගැනීමට ආරක්ෂක අංශවලට පැය පහකට වැඩි කාලයක් ගත විය. ඔහු මේ වන විටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.

2021 ජනවාරි මස අග භාගයේදී තවත් මෙවැනිම දරුණු මැර ප‍්‍රහාරයක් බණ්ඩාරවෙල වතුයායකදී සිදු විය.

‘‘මෙම ප‍්‍රහාර හුදෙක් එක් එක් වතුවල ඒවායේ පවතින නිශ්චිත ගැටලූවලට ප‍්‍රතිචාර සඳහා කරන ලද ඒවා නොව එම වතුවල තේ අස්වැන්න හා එයින් ලැබෙන ආදායම විනාශ කිරීමේ අරමුණින් සිදු කළ සංවිධානාත්මක ප‍්‍රහාර බව අප විශ්වාස කරනවා. මෙහි වගකීම කවුරුන් හෝ භාරගනු ලැබුවත් එහි අවසන් ප‍්‍රතිඵලය රටට හානිදායක වන බව සිහිතබා ගත යුතුයි.’’ යනුවෙන් ඔබේසේකර මහතා අවධාරණය කර සිටී.

Visits: 66