තාරුණ්‍යයේ අපේක්ෂාවන් දල්වන්නට මහජන බැංකුවෙන් People’s Spark

තමන්ගේ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමට ලැදි ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් People’s Spark ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කර ඇතැයි පවසයි.

මෙහි අරමුණ ශී‍්‍ර ලංකාවේ තරුණ උපාධිධාරීන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වැනි මට්ටමට සමාන (NVQ Level 05) හෝ එයට වඩා වැඩි වෘත්තීය සුදුසුකම් සපුරනු ලැබූ තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් පුහුණුවක් සහ දැනුමක් ලබාදී ඇප රහිත ණය පහසුකම්ද පිරිනැමීම තුළින් ඔවුන් තුළින් සාර්ථක අනාගත ව්‍යවසායකයන් නිර්මාණය කිරීමයි.

මෙම වැඩපිළිවෙළ ඔස්සේ නිෂ්පාදන කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සහ සේවා වර්ධනය කිරීමට මූලික අවධානය යොමුකරයි. මෙහිදී කෘෂිකර්මාන්තය යටතේ ගොවිතැන, පශූ සම්පත්, ධීවර, කෘෂි නිෂ්පාදන එකතුකරන්නන් සහ අතරමැදියන්, කුඩා සහල් මෝල් හිමියන් වැනි අංශ සම්බන්ධයෙන් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත, ආහාරපාන හා සම්බන්ධ අංශ, නවෝත්පාදන හා තාක්‍ෂණය පදනම් කරගත් ව්‍යාපාර කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි. සේවා අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, සහයක සේවා, සන්නිවේදන වැනි අත්‍යවශ්‍ය සේවා මෙන්ම සංචාරක කර්මාන්තයේ සේවා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබේ.

පළමුවෙන්ම ඉහත සඳහන් කළ ක්ෂේත‍්‍රයන් තුළ ව්‍යාපාර කිරීමට කැමැත්තක් ඇති, සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ තරුණ තරුණියක් 150 දෙනෙකු පමණ තෝරා ගැනීමට අපේක්‍ෂා කරයි. අනතුරුව තෝරාගත් පිරිසට දේශීය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ මැදිහත් වීමෙන් දින පහක හයක කාලයක් ව්‍යවසායකත්වය සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ආවරණය කර ගනිමින් දැනුම ලබාදීමක් සිදුකෙරේ. මින් අනතුරුව ඔවුන් කැමති ක්ෂේත්‍ර තුළ සාර්ථකත්වය ලැබූ ව්‍යවසායකයකු යටතේ මාස තුනක කාලයක් පුහුණුවීමේ අවස්ථාව ද ලබාදෙයි.

මේ කාලය තුළ තරුණයා හෝ තරුණිය විසින් තමන්ගේ ව්‍යපාරික සැලැස්ම සැකසිය යුතු වේ. මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා බැංකුව විසින් සෑම අයෙකුටම වෙන් වූ නිලධාරියෙකු ලබාදීම විශේෂත්වයකි. මෙම පුහුණු කාලසීමාව තුළ සකසනු ලබන ව්‍යාපාරික සැලැස්ම බැංකුව විසින් තක්සේරු කිරීමෙන් පසුව ලක්‍ෂ 25ක උපරිමයකට යටත්ව, කිසිම සුරැකුමක් නොමැතිව ණය මුදලක් ලබාදෙනු ලබයි. මෙයින් පසුව ද වසරක පමණ කාලයක් දක්වා මහජන බැංකුව විසින් අදාළ ව්‍යවසායකයන් පසුවිපරම් කර ස්වාධීනව ව්‍යවසායකයන් ලෙස ඔවුන්ට වර්ධනය වීමේ අවස්ථාව ලබාදෙයි.

මෙම ව්‍යවසායකත්ව වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක්කේ ශ‍්‍රී ලාංකීය පුරවැසි, වයස අවුරුදු 18ත් 35ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් හට පමණි. මෙහිදී ඔවුන් ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් අනුමත විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු හෝ අවම වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් අංක 5 (NVQ Level 05) හෝ සම්පූර්ණ කර තිබිය යුතු වේ. මේ සුදුසුකම් වලට අමතරව විශේෂයෙන්ම ඔවුන් ව්‍යාපාරයක් කිරීමට දැඩි කැමැත්තකින් පසුවීම අත්‍යවශ්‍යම කාරණයකි. මෙම වැඩසටහන් කාලය තුළ වරින් වර බැංකුව විසින් අවශ්‍යතාවය මත විවිධ වූ පුහුණූ වැඩසටහන් සංවිධානය කරන බැවින් ඒ කාර්යයන් සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි අයෙකු වීම අනිවාර්ය කාරණයක් වන අතර, ඔබ මහජන බැංකුව හෝ වෙනත්  ඕනෑම මූල්‍ය ආයතනයක ණය ගෙවීම් පැහැර නොහැරි අයෙක් විය යුතුයි.

සාම්ප‍්‍රදායික බැංකු විසින් මේ අංශ වලට අදාළව මෙතෙක් කලයක් අවධානය යොමු කර ඇත්තේ ණය මුදල් ලබාදීමට පමණයි. නමුත් මහජන බැංකුවේ එකම අරමුණ ණය මුදල් ලබාදීම පමණක්ම නොවේ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ලංකාව තුළ තරුණ ව්‍යවසායකත්වයන් වර්ධනය කිරීමයි. මහජන බැංකුව දිවයිනේ ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස මේ සඳහා කැපවී සිටී.

මේ සඳහා Peoplesbank.lk/peoples-spark වෙත පිවිස අන්තර්ජාලයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, මේ පිළිබඳව වැඩි විස්තර 0112481356 අංකය ඇමතීමෙන් ලබාගත හැක.

Visits: 71