ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සංසරණය සඳහා රු. 20ක නව කාසියක්

2020 වසරට යෙදුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා රුපියල් 20ක නව කාසියක් නිකුත් කරන්නට මහ බැංකුව පියවර ගෙන තිබේ. මෙහි පළමු කාසිය පසුගියදා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා අතින් ජනපතිවරයා වෙත පිළිගැන්වී ඇත.

මහ බැංකුවෙහි මෙම 70 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් 31 වැනිදා නිකුත් කෙරුණු ඇලුමිනියම් සහ ලෝකඩවලින් නිර්මාණය කෙරුණු සංසරණය සඳහා නොවන සමරු කාසියට සමගාමීව, සමාන නිර්මාණ සැලැස්මක් සහිතව එහෙත් නිකල් ආලේපිත වානේ යොදා ගෙන මුහුණත වටිනාකම රුපියල් 20ක් වන සංසරණය සඳහා භාවිතා කරනු ලබන මෙම සමරු කාසිය නිර්මාණය කර තිබේ.

පැති හතකින් සමන්විත මෙම නව රුපියල් 20 කාසියේ විෂ්කම්භය මි.මී. 28 කි. එහි ඝනකම මි.මී. 2 කි. ලබන මාර්තු 03 වැනිදා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා මෙම කාසි 5,000,000ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සංසරණයේ පවත්නා අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සමගම ගෙවීම් සඳහා මෙම නව රුපියල් 20 කාසිය භාවිත කළ හැකි බවත් මහ බැංකුව පවසයි.

Visits: 71