කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් මොබයිල් ඇප් සේවාවේ ලියාපදිංචි වූ පිරිස මිලියනය ඉක්මවයි

කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව සඳහා ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙමින් යාවත්කාලීන කිරීමෙන් පසුව මාස හයක් ඇතුළත ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් 150,000 කින් වැඩිවී ඇතැයි බැංකුව වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ඇප් සේවාව මේ වනවිට රටවල් 100 කට වැඩි ගණනක සිට ගිණුම්හිමියන් භාවිතා කරන අතර ඒ සඳහා තත්පරයකට 20 දෙනෙක් පමණ ලොග් වන බව බැංකුව සඳහන් කරයි. මිනිත්තුවකට සාමාන්‍යයෙන් ක‍්‍රියාකාරී ගනුදෙනුකරුවන් 1000 කට වැඩි ගණනක් මෙම ඇප් සේවාව භාවිතා කරන බවත් මේ සඳහා මිලියනයකට වැඩි ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙන බවද බැංකුව අනාවරණය කරයි.

බැංකුව විසින් මෙම ඇප් සේවාවට ආකර්ශනීය නවාංග එකතු කරමින් මෑතකදී වැඩිදියුණු කළ අතර එයට ස්වයංව ලියාපදිංචි වීම සහ ඒ මොහොතේදීම ගනුදෙනු වාර්තා ලබාගැනීම මෙම නවාංග වලට ඇතුළත් විය. මේ තුළින් ගිණුම් කළමනාකරණයේ සහ භාවිතා කිරීමේ පහසුව මෙන්ම ආරක්ෂාව වඩාත් වැඩි දියුණු වනබව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, මෙම ඇප් සේවාවේ නව බයෝමෙටි‍්‍රක් ලොගින් පහසුකම මගින් ගිණුම් හිමියන්ට face ID සහ ඇඟිලි සලකුණ භාවිතා කිරීම මගින් ලොගින් වීමට අවස්ථාව ලබාදී තිබෙන නිසා ඇප් පහසුකම භාවිතා කිරීමට සෑම අවස්ථාවේදීම රහස් වචනය ඇතුළත් කළ යුතු නොවේ. 

අළුතින් ලබාදී තිබෙන ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව නිසා ඊ-පාස්බුක් නව ඇප් පහසුකම සක‍්‍රීය කර ගැනීම සඳහා බැංකු ශාඛාවක් වෙත යාමට අවශ්‍ය නොවීම මේ ආකාරයෙන් ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් වැඩිවීමට හේතුවී තිබේ. මෙම නව යාවත් කාලීන කිරීම මගින් මෙම ඇප් සේවාව භාවිතා කරන්නන්ට ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් තම කොම්බෑන්ක් පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව මගින් ස්වයංව එකතු කර ගැනීමට, ඉවත් කර ගැනීමට සහ සමූහගත කිරීමට අවස්ථාවද ලබාදී ඇත. 

එසේම, මෙම ඇප් සේවාවට ඉදිරියේදී සිදුකිරීමට නියමිත යාවත්කාලීන කිරීම් මගින් මාරු නොකළ චෙක්පත්, ජංගම ගිණුම් සඳහා තිබෙන සමස්ත බැංකු අයිරා සීමාවන් ඇතුළුව සීමාවකින් තොරව ගනුදෙනු ඉතිහාසය බලාගැනීමේ අවස්ථාව ලබාදීමට බැංකුව සැලසුම් කර ඇත. එසේම, ස්ථාවර තැන්පතු ගිණුම් සහ ණය පහසුකම්වල තොරතුරු අන්තර්ජාලයෙන් බලාගැනීමේ අවස්ථාව සහ එම දත්ත සුරක්ෂිතව තබාගැනීමේ පහසුකම් මෙන්ම භාෂා තුනකින් මෙම ඇප් සේවාව භාවිත කිරීමේ අවස්ථාවද ඉදිරියේදී ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

බැංකු ‘පාස්පොත’ යන සංකල්පය විප්ලවීය අදියරකට රැගෙන එමින් පුරෝගාමී කාර්යභාරයක් සිදුකළ කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව 2016 වසරේදී හඳුන්වා දෙන ලදී. එම පහසුකම නොමිලේ ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් ලබාදෙන අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් ක්ෂණිකව තම බැංකු ගිණුමට ඇතුළුවී සාම්ප‍්‍රදායික බැංකු පොතක් බැංකුවට ඉදිරිපත් කර සිදුකරන ගනුදෙනු සිදුකිරීමටත් අන්තර්ජාල බැංකුකරණය හෝ ජංගම දුරකතන බැංකුකරණය වැනි මුදල් ගෙවන බැංකු පහසුකම් ලබාගැනීමටත් මෙමගින් අවස්ථාව හිමිවේ. 

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Visits: 48