ආර්ථිකය ගැන ආයෝජක විශ්වාසය හීන වීමෙන් දර්ශක අගයන් තවත් පහළට

අද (පෙබරවාරි 23) දිනයේදීත් ගෙවුණු දින කිහිපයේ පරිද්දෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් තුළ දරුණු පහත වැටීමක් පෙන්නුම් කෙරිණි. එහිදී මූලිකවම රටෙහි ආර්ථික තත්ත්වයේ පවතින දුර්වලතාව නිසා ආයෝජකයන් තුළ පවතින කණස්සල්ල නිසා ඇති වුණු ආයෝජක විශ්වාසයේ අඩුවීම ඊට හේතුව බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

මෙම කඩා වැටීම නිසා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශක අගයන් -5ටත් වඩා අඩුවීම නිසා අද දිනයේ එක් අවස්ථාවකදී කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අත්හිටුවීමටත් සිදු විය. කෙසේ වෙතත් දිනය තුළ සිදු වූ ගනුදෙනු හරහා වෙළෙඳපොළ යම් ආරක්ෂාවීමක් පෙන්නුම් කළද, කලබලකාරී කොටස් අලෙවිය එය මඟහැරවූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ දිනයේදී ඒකක 7,287.95ත් ඒකක 7,591.94 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,329.21 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 268.3 ක් එනම් -3.53%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5.6%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 18ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 185ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් ෆුඩ්ස් ප්‍රඩක්ට්ස් පීඑල්සී KFP (+0.47), ලාෆ්ස් පවර් පීඑල්සී LPL (+0.31), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (+0.25), විදුල්ලංකා පීඑල්සී VLL (+0.19), මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී MBSL (+0.19), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.99), වැලිබල් වන් පීඑල්සී VONE (-14.91), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-14.33), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-13.85), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-13.14) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,898.43 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 131.36 ක එනම් -4.34%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.83ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 22දා) වාර්තා කළ රුපියල් බිලියන 2.35ට සාපේක්ෂව 21% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.26%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 69.7ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 266.58ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 196.89කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 12.34ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.83කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 82.27ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 634ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 564ක සහ රුපියල් මිලියන 415ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 212