පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට අත්සන් තැබීම ඊයේ (පෙබරවාරි 23දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවී තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

මෙහිදී දෙරට අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින් දැක්වෙයි.

  • සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
  • කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව
  • කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා, “පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මම දෙරට අතර ආර්ථික, වෙළඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවයෙන්  කටයුතු කිරීමට ගිවිස ගත්තා. පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථාවන් හඹා යාමට ද අපි එකඟ වුණා.” යනුවෙන් පවසා ඇත.

එසේම පාකිස්තානයේ ඉහළ පෙළේ බහු-විධ ව්‍යාපාරික දූත පිරිසක් සමඟ අගමැති ඉම්රාන් ඛාන් මහතා අද දිනයේ ව්‍යාපාර හා ආයෝජන සමුළුවක මුල සුන හොබවීමටද නියමිතව සිටියි.

“ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගන්නා මෙම සෘජු වෙළඳ සබඳතාවය ඔස්සේ දෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළඳාම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් ඇතිවන ඇතැයි අපි අපේක්ෂා කරමු.” යනුවෙන්ද අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා ඇත.

Visits: 110