ලංකාවේ හයිද්‍රාමනී එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුඛ ආවරණ නිපදවලා

මෙරට සුප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් වන හයිද්‍රාමනී සමාගම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා අවශ්‍ය එම සංවිධානයේ සන්නාමයද ඇතුළත් කරමින් මුඛ ආවරණ නිපදවීමක් සිදු කර ඇතැයි පවසයි.

මෙම මුඛ ආවරණයක් සහ එම මුඛ ආවරණයක් පැළැද සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්වරියක වන අමිනා ජේ මොහොමඩ්ගේ ඡායාරූපයක් පළ කරමින් එම සමාගම මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට එහි හරිත නිෂ්පාදනාගාර පරිශ්‍රය තුළදී තිරසාර සහ ජෛවහායනයට ලක් වන ලෙස මෙම මුඛ ආවරණ නිපදවා තිබේ.

එහිදී මෙම මුඛ ආවරණ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත 100%ක්ම දායකත්වය ලබා දීමක් නිරූපණය කෙරෙන බවත් සමාගම පවසයි. එසේම හයිද්‍රාමනී සමාගමද තමන්ගේම තිරසාර ක්‍රමෝපායික වැඩසටහන් ක්‍රියාත්මක කරවමින් සිටින බවත් මෙහිදී සඳහන් කරයි.

“මෙවැනි වඩාත් අසීරු කාලවලදී පවා, අපට මිහිතලය වෙත වඩාත් ධනාත්මක නිෂ්පාදන සිදු කරමින් ආරක්ෂිතව සිටීමේ හැකියාව මෙම මුඛ ආවරණ මගින් මතක් කර දෙනවා.” යනුවෙන්ද හයිද්‍රාමනී ඇගලුම් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 105