වැලිබල් වන් පීඑල්සී මුදල් ලාභාංශ ගෙවන්නේ ශත 50යි ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ. ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 22 වැනිදා නම් කෙරී ඇත.

මෙහිදී එක් කොටසකට ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කෙරෙන බව වැලිබල් වන් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙම මුදල් ලාභාංශය ගෙවීමට තීරණය කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් සමාගම පවසයි.

මේ අතර වැලිබල් වන් පීඑල්සී ලාභාංශ නොගෙවන දිනය (XD Date) ලෙස 2021 මාර්තු 04 වැනිදා සටහන්ව ඇත.

කොළඹ කොටස් හුවමාරුවෙහි වටිනාකම් අනුව අද දිනයේදී වැලිබල් වන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 58ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 4 කින් එනම් 6.45%කින් අඩු වීමක් සිදුව තිබේ. අවසන් ගනුදෙනු දිනයේදී එහි කොටසක වටිනාකම රුපියල් 62 ක් විය.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් වන් සමූහයට අයත් සමාගමක් ලෙස වැලිබල් වන් පීඑල්සී සමාගම ක්‍රියාත්මක වෙයි. මීට පෙර එම සමූහයේ සමාගම් කිහිපයක්ම සිය ලාභාංශ ගෙවීම් පිළිබඳව නිවේදනය කර තිබූ අතර, ඒ සියල්ල අතරින්ම මෙතෙක් අඩුම ලාභාංශ ගෙවීමක් සිදු වන්නේ වැලිබල් වන් පීඑල්සී හරහා වීමත් විශේෂත්වයකි.

Visits: 647