ධම්මික පෙරේරාගෙන් දිලිත්ගේ විදුහලට දුරස්ථ අධ්‍යාපන පන්ති කාමර දෙකක්

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ DP Education ආයතනය මගින් සාන්ත ඇලෝසියස් විදුහල වෙත දුරස්ථ අධ්‍යාපන පන්ති කාමර 2ක් පරිත්‍යාග කළ බව පවසයි.

ඊයේ (පෙබරවාරි 16දා) දිනයේදී එම පාසැලේ පැවැත්වුණු උත්සවයකදී මෙම පන්ති කාමර දරුවන් වෙත පිරිනැමීම සිදුව තිබේ.

විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ මැදිහත්වීමෙන් මෙම පන්ති කාමර දෙක පාසැල වෙත හිමිව තිබෙන බව මෙම අවස්ථාවට සහභාගි වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබේ.

මෙහිදී දිලිත් ජයවීර මහතාගේ ධන පරිත්‍යාගයෙන් පාසැලේ විදුහලේ මාධ්‍ය ඒකකයද ප්‍රතිසංස්කරණය කෙරී ඇත.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන්ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ජාතික පාසල් අධ්‍යක්ෂ, ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති අනුර ගමගේ ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.

Visits: 134