අවසන් මිනිත්තු කිහිපයේදී දර්ශක අගයන් ශක්තිමත්ව ඉහළ නගී

අද (පෙබරවාරි 17) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු ආරම්භයේදී දර්ශක අගයන් ඍණ තත්ත්වයට පත් විය. එහිදී විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ පෙන්නුම් කළ වාෂ්පෂීලිතාව හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් මිලදී ගැනීම් සඳහා ආයෝජකයන් යොමුවීමත් සමගින්ම දර්ශක අගයන් ඉහළ ගියත් ඔවුන් තුළ පවතින තත්ත්වය පිළිබඳ වන කල්පනාකාරී තත්ත්වය තවමත් එලෙසින්ම බව එම සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් දිනයේ ගනුදෙනු අවසන්වීමට අවසන් මිනිත්තු කිහිපයේදී දර්ශක අගයන් වඩාත් ශක්තිමත්ව ඉහළ නැගීමක් දැකගත හැකි විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,385.93ත් ඒකක 7,655.98 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,588.34 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 16) දිනයට සාපේක්ෂව ඒකක 7.43 ක් එනම් +0.10%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සෙලාන් බැංකුව (ඡන්ද හිමි) සහ ආසිරි සර්ජිකල් හොස්පිටල්ස් පීඑල්සී ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 4.9%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.  

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 81ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 106ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේකාර්බ් පීඑල්සී HAYC (+7.31), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+6.32), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.81), හේලීස් පීඑල්සී HAYL (+5.66), වැලිබල් වන් පීඑල්සී VONE (+5.22), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-13.86), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-6.42), සම්පත් බැංකුව SAMP (-4.36), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.92), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-2.29) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,027.66 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 16) දිනයට සාපේක්ෂව ඒකක 4.55 ක එනම් -0.15%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.31ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 16දා) වාර්තා කළ රුපියල් බිලියන 4.28ට සාපේක්ෂව 23% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.32ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.07%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 41.2ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 201.13ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 159.92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 11.78ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.73කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 79.76ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 890ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 644ක සහ රුපියල් මිලියන 506ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 371