ට්‍රාන්ස්ෆෝමර් හා සම්බන්ධ කර පෞද්ගලික ආයෝජන හරහා සූර්ය විදුලිය ජනන වැඩසටහනක්

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් විදුලිය බෙදා හැරීමේ ට්‍රාන්ස්ෆෝමර 7,000ක් සඳහා පොළොව මත ක්‍රියාත්මක වන සූර්ය බලාගාර සම්බන්ධ කර පුනර්ජනනීය විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.

පසුගියදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය කෙරිණි. විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව කටයුතු කරමින් වසර 2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් උපරිම ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමේ සැලසුම අනුව මෙය සිදු කෙරේ.

ඒ අනුව විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, කඩිනම් ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය මාස 18ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙහිදී අදාළ ව්‍යාපෘතිය යටතේ, හඳුනාගත් එක් ට්‍රාන්ස්ෆෝමරයකට එක් සූර්ය බලාගාර ව්‍යාපෘතියක් බැගින් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින් හා ආයතන වෙතින් තරගකාරී පදනම මත ලංසු කැඳවා ආයෝජකයින් තෝරා ගැනීමටත් අපේක්ෂාව බව රජය සඳහන් කරයි.

එක් සූර්ය බලාගාරයක් ඉදි කිරීම සඳහා වන ආයෝජනය රුපියල් මිලියන 12ක් පමණ වන අතර අදාළ ට්‍රාන්ස්ෆෝමරයට ආසන්නව පිහිටි පර්චස් 40ක භූමි භාගයක් තුළ අදාළ සූර්යබල පද්ධතිය ස්ථාපනය කළ යුතු බවත් රජය පවසයි.

Visits: 85