හයිද්‍රාමනී පවුලේ විනෝද් ‘සම්පත් බැංකු’ අධ්‍යක්ෂ මණ්ඩලයට

සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස විනෝද් කිෂෝර් හයිද්‍රාමනී මහතා පත් කිරීමට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇතැයි පවසයි. ඊයේ (පෙබරවාරි 15) පැවැත්වුණු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ පටන් විනෝද් හයිද්‍රාමනී මහතා සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව බැංකුව නිවේදනය කරයි. එහිදී ඒ මහතා විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ වරයෙකු ලෙස පත් කර ඇත.

මේ අතර පත්වීම ලබන අවස්ථාව වන විටත් ඒ මහතා සතුව බැංකුවෙහි කොටස් 55,043ක හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි.

විනෝද් කිෂෝර් හයිද්‍රාමනී මහතා මෙරට සුප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් වන හයිද්‍රාමනී සමාගමේ අධ්‍යක්ෂධුරයක්ද දරයි. එක්සත් රාජධානියේ හැරෝ පාසැලෙන් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ BA උපාධිය හිමි කරගෙන ඇත. එසේම ඒ මහතා හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි ආදි සිසුවෙකුද වෙයි.

හයිද්‍රාමනී මහතා සතුව කළමනාකරණය, ඇගලුම් සහ බලශක්ති යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත බව පවසයි. ඒ මහතා 1993 වසරේදී හයිද්‍රාමනී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධවී ඇත.

එසේම හයිද්‍රාමනී සමූහයට අයත් තවත් පරිපාලිත සමාගම් රැසකම අධ්‍යක්ෂවරයා ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. අද වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, වියට්නාමය සහ ඉතියෝපියාව තුළත් හයිද්‍රාමනී සමූහය ව්‍යාප්තව තිබේ.

ඒ අනුව සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, නියෝජ්‍ය සභාපති ධාරා විජේතිලක, රුෂාන්ක සිල්වා, දෙෂාල් ඩි මෙල්, දිලිප් ද එස්. විජේරත්න, කේෂිණි ජයවර්ධන, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, වජිර කුලතිලක සහ විනෝද් හයිද්‍රාමනී යන මහත්ම මහත්මීන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 622