එයිට්කන් ස්පෙන්ස් ඉදි කළ මෙරට පළමු කසල දහන විදුලි බලාගාරය හෙට විවෘත කෙරේ

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන වෙස්ටර්න් පවර් කම්පැනි සමාගම සහ කොළඹ මහ නගර සභාව එක්ව මුතුරාජවෙල, කෙළවරපිටියේ ඉදි කළ කසල අපද්‍රව්‍ය දහන විදුලි බලාගාරය හෙට (පෙබරවාරි 17වැනිදා) විවෘත කිරීමට නියමිතව තිබේ.  

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මෙවැනි බලාගාරයක් ඉදි කෙරී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 9කි. මේ හරහා මෙ.වො.10ක විදුලි ධාරිතාවයක් නිපදවීම සැලසුම වී තිබේ.

මෙහිදී කසල අපද්‍රව්‍ය දහනය කිරීම මගින් එම විදුලිය නිපදවීම සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය කසල කොළඹ මහ නගර සභාව මගින් ලබා දීම සිදු වෙයි. එහිදී මෙම බලාගාරය සදහා දිනකට කසල ටොන් 1000 ක අවශ්‍ය වන අතර කොළඹ නගරය තුළ දැනට දිනකට ලබා ගැනීමට හැකි වනු ඇත්තේ කසල ටොන් 600 ක් පමණක් බවද සඳහන් වෙයි.

2017 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම බලාගාරයේ ඉදිකිරීම් 2020 වර්ෂයේ මැයි මස අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඒහි කටයුතු 2021 දක්වා කල්ගත විය.

මෙම කසල අපද්‍රව්‍ය විදුලිය බවට පත් කිරීමේ බලාගාරය වසරකට පැය 7,500 ක කාලයක් ක්‍රියාත්මක කිරීම සැලසුම බව එයිට්කන් ස්පෙන්ස් සමාගම සඳහන් කරයි. එහිදී විදුලි බලය බවට හැරවීම සඳහා භාවිත කරන අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් 1,500,000ක් එනම් මෙට්‍රික් ටොන් 700කි. මේ හරහා කොළඹ මහ නගර සීමාව තුළ පවතින කසල ගැටලුව නිරාකරණය වෙනු ඇතැයි අපේක්ෂාව වී ඇත.

මෙම බලාගාරයේ වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් අනතුරුව ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙගාවොට් 9.7ක විදුලිබලයක් අලෙවි කිරීම සැලසුම බව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද වනවිට කොළඹ නගර සභා සීමාව තුළ එකතු වන කසල අපද්‍රව්‍ය අතරින් 86% ක් ම විවෘත භූමියේ බැහැර කිරීම සිදුවන අතර 6%ක් කොම්පෝස්ට් පොහොර සෑදීමටත් 4%ක් ප්‍රතිචක්‍රීයකරණයටත් යෙදවෙන බව පැවසෙයි. මෙම අපද්‍රව්‍ය විදුලි බලය නිපදවීම සඳහා අවස්ථා කිහිපයකදීම විදෙස් සමාගම් ඉදිරිපත් වුවද ඒවා සියල්ල විවිධ හේතු නිසා අසාර්ථක වුණි.

Visits: 910