“2022 වනවිට පිටි කිරි ආනයනයේ වුවමනාවක් මතු නොවේවි” – පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක

වර්තමානයේදී මෙරට තුළ පවතින දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රවණතා සමගින් වසර 2022 වන විට පිටි කිරි ආනයනය කිරීමේ වුවමනාවක් මතු නොවෙනු ඇතැයි පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීලි වික්‍රමානයක මහතා පවසයි.

එසේම පසුගිය 2020 වසරේදී විදේශයන්ගෙන් කිරි පිටි ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 50ක පමණ) ඉතිරි කරගැනීමට හැකියාව ලැබුණු බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීලි වික්‍රමනායක මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව මෙය COVID-19 වසංගත තත්ත්වය නිසා උද්ගතව පවතින ආර්ථික අර්බුදය යම් තරමකින් හෝ මඟහරවා ගැනීමට දායක්වයක් ලබා දී ඇති බවත් ඔහු පවසයි. පසුගියදා ඩේලිනිවුස් පුවත්පත සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ.

කිරි පිටි ආනයනය සම්බන්ධයෙන් වන අලුත්ම රේගු දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා මේ කරුණූ සඳහන් කර සිටියි. ඒ මහතා මේ වනවිට මවුබිම ලංකා පදනමේද සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වය නිසා මනුෂ්‍යත්වයට මෙන්ම ආර්ථිකය වෙතත් යම් ඍණාත්මක බලපෑමක් ඇති වුවත්, එහි තවත් ප්‍රථිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේදී කිරියෙන් ස්වයංපෝෂිත වීමේ අවස්ථාවක් බලාපොරොත්තු විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

“2022 වසර වන විට රට වෙත තවදුරටත් කිරි පිටි ආනයනයක් සිදු කරන්න වුවමනාවක් නැති වේවි කියලා මට විශ්වාසයි.” ඔහු පවසා ඇත.

එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ කිරි පිටි කර්මාන්තයේ හැඩය ආපස්සට හැරීමක් සිදු වෙනු ඇති බවත්, ඒ වනවිට ශ්‍රී ලංකාව කිරි පිටි අපනයනය කරන රාජ්‍යයන්ගේ කණ්ඩායමට එකතු වෙනු ඇති බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

විශේෂයෙන්ම වත්මන් රජය දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන්ද සැලසදුම් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. මේ හරහා දේශීය කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම අරමුණ වී ඇත. එසේම රට තුළ කිරි ගොවීන්ගේ ඉපැයීම් ඉහළ නැංවීමටත් රජය සැලසුම් කර තිබේ. අද වනවිට සුළු පරිමාණ කිරි නිෂ්පාදකයන් මෙරට දේශීය දියර කිරි සැපයුමේ 85%ක ප්‍රතිශතයක් දරන බවත් පුවත්පත පවසයි.

“2020 වසරේදී කිරි පිටි ආනයනය සිමා කිරිම නිසා ඉතිරි කරගත හැකි වුණු මේ රුපියල් බිලියන 50ක මුදල දේශීය කිරි ගොවීන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට යොදවා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආනයන සීමා කිරීම මගින් විදේශ විනිමය ඉතිරි වෙනවා වගේම දේශීය කිරි ගොවීන්ගේ ආදායම ඉහළ යමින් ද්විත්ව ආර්ථික ප්‍රතිලාභ හිමි වෙනවා.” වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

එසේම මෙහිදී ඉතිරි කරගෙන ඇති මුදල මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට වැය වී ඇති මුදලට වඩා අඩු බවත්, හම්බන්තොට වරායේ පළමු අදියර සහ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදලට වඩා වැඩි බවත් වික්‍රමනායක මහතා පවසයි.

විශේෂයෙන්ම පසුගිය වසරේදී දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගිය බවත්, කර්මාන්තය වෙත නව කර්මාන්තකරුවන් කිහිප දෙනෙකුම පිවිසි බවත් ඒ මහතා පවසයි. ඒ හරහා දේශීයව නිපදවූ කිරි පිටි සහ නැවුම් කිරි වෙළෙඳ පොළ වෙත ලබා දීමටද හැකියාව ලැබී තිබේ.

“ඊට අමතරව, නැවුම් කිරි සඳහා දේශීය කිරි ගොවින් වෙත හිමිවන මුදලත් ඉහළ ගිහින්. ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය මගින් මේවනවිට කිරි ලීටරයක් වෙනුවෙන් රුපියල් 130ක මුදලක් ලබා දෙනවා. ඒ හරහා බොහෝ පිරිසකට ස්වයං රැකියාවක් ලෙස කිරි නිෂ්පාදන කර්මාන්තය වෙත ආයෝජනයට යොමු වෙනවා.” දැනට වසර දෙකකට පෙරාතුව නැවුම් කිරි ලීටරයක් සඳහා ලබා දුන්නේ රුපියල් 90ක මුදලකි.

මෙම සාකච්ඡාවේදී සිය ඉදිරි සැලසුම් පිළිබඳවද සඳහන් කර ඇති වික්‍රමනායක මහතා, කුරුණෑගලදී සහ උතුරේදී ඉදි කෙරෙන පැල්වත්ත සමාගමේ පිටි කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව වෙත රුපියල් බිලියන 1.2ක මුදලක් යොදවන බවත් පවසා තිබේ.

“අපේ සමාගමට තමයි පළමුවරට විසිරි වියළි කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව ශ්‍රී ලංකාව තුළ පිහිටවූවේ. කුරුණෑගල කර්මාන්තශාලාව තුළ පිහිටුවෙන නවීනතම යන්ත්‍ර සූත්‍රත් සමගින් 2021 මැයි මාසයේදී එය විවෘත කිරීමට සූදානමින් සිටිනවා.” යනුවෙන්ද සභාපති ආරියසීලි වික්‍රමනායක මහතා අවසන් වශයෙන් සඳහන් කර තිබේ.

Visits: 795