නව COVID-19 ප්‍රභේදය පාලනය රට ලොක්ඩවුන් කිරීම හෝ නොකිරීම පිළිබඳ සාකච්ඡාව හෙට

රටෙහි ප්‍රදේශ කිහිපයකදී හඳුනාගෙන ඇති COVID-19 වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් යළිත් වටයකට රට තුළ ලොක්ඩවුන් තත්ත්වයට පත් කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය හෙට දිනයේදී පැවැත්වෙන COVID-19 පාලන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ හමුවෙන් අනතුරුව ගනු ඇතැයි රජයේ බලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මහජන සෞඛ්‍ය සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් යන මහත්වරුන් පළ කළ අදහස් උපුටා දක්වමින් අද පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ කරුණු අනාවරණය කරයි.

බ්‍රිතාන්‍ය තුළින් හමුවුණු B.1.1.7 නම් නව ප්‍රභේදය මෙලෙස මෙරට ප්‍රදේශ හතරක් තුළ තිබී හමු වී ඇත. මේ වනවිට එම ප්‍රභේදය ආසාදනය වූ සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් සිටින බවත් වෛද්‍ය අංශ පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා සිට එක්රැස් කරගත් සාම්පල 92ක් යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයකදී මෙම ආසාදිතයන් පිරිස හමුව තිබේ.

“තවමත් රට පුරා ලොක්ඩවුන් සීමා පැමිණවීමේ තීරණයක් ගෙන නැහැ. ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී සඳුදා දිනයේදී පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවයි ඒ පිළිබඳ තීරණයක් ගන්නේ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කර ඇත. එසේම වසංගතවිද්‍යා ඒකකය මේවනවිටත් එම වෛරස ප්‍රභේදය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්, ගත යුතු සුදුසු පියවර පිළිබඳව තීරණයක් ගන්නා බවත් පවසා තිබේ.

“මේ තත්ත්වයත් සමගින් ජනතාව 100%කටත් වඩා වැඩියෙන් පරීක්ෂාකාරීව ඉන්න වෙනවා. මුඛ ආවරණ පැළැදීම, සමාජ දුරස්තභාවය පවත්වාගෙන යාම, දෑත් සේදීම වගේම බොහෝ පිරිසක් එක් රැස්වන ස්ථානවලින් ඈත්වී සිටීම ඇතුළු කාරණා නිසා මේ සුපිරි සම්ප්‍රේෂණ අවස්ථාවක් වළක්වා ගන්න පුළුවන් වේවි.” වෛද්‍ය හේරත් අවධාරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය තුළ හඳුනාගත් මෙම නව COVID-19 වෛරස ප්‍රභේදය වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය වන්නක් බව මීට පෙර හඳුනාගෙන තිබුණි. එසේම දැන් මෙම වෛරසය වඩාත් මාරාන්තික වන බවත්, ඒ හේතුවෙන් මිය යාමේ අනුපාතය ඉහළ බවත් විද්‍යාඥයන් විසින් පවසා සිටියි.

මෙරට වාර්තා වන එම නව ප්‍රභේදය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදය සහ අණුක විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, “කොළඹ වෙසෙන ජනතාව ආශ්‍රිතව COVID-19 නව ප්‍රභේදයේ ආසාදිතයන් පසුගිය දෙසැම්බර් මාසයේ 30 වැනිදා සිටම සිටි බවට අපගේ දත්තවලින් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ දෙසැම්බර් මැද භාගයේදී තමයි වෛරසය පැමිණිලා තිබෙන්නේ. බොහෝ විට විදේශයක සිට පැමිණි අයෙකුගෙන් එය බෝ වෙන්න ඇති.” යනුවෙන් පවසා සිටියි. එසේම අද වනවිට ලංකාවේ ප්‍රදේශ රැසකදීම මෙම වෛරස ප්‍රභේදය හමුවන බවත් ඇය සඳහන් කරයි.

ඇය පවසන ආකාරයට ආසන්න සති කිහිපයේදී මෙරට තුළ හමුවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව මෙම නව ප්‍රභේදයේ ව්‍යාප්තියයි. මෙම ප්‍රභේදය පෙර වෛරසය මෙන් 50%ක සම්ප්‍රේෂණ හැකියාවක් සහිතය.

“මේ නිසා අපි හැකි ඉක්මණින්ම පියවරක් ගෙන තත්ත්වය පාලනය කළයුතු වෙනවා. දැනටමත් අනුමත කෙරී ඇති එන්නත් (Pfizer, AstraZeneca සහ Moderna) මේ B.1.1.7 ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක කරන බව සහතික වී තිබෙනවා.” යනුවෙන්ද ඇය පුවත්පත වෙත පවසා ඇත.

Visits: 129