හේලීස් සමූහයේ ලැයිස්තුගත සමාගම් සුවිශේෂී ප්‍රතිඵල පෙන්වයි

හේලීස් පීඑල්සී සමූහයේ කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත පරිපාලිත සමාගම් මගින් 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී සහ මුල් මාස නවය තුළදී ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි වාර්තා පවසයි.

එහිදී මෙම තත්ත්වය වෙළෙඳ පොළ පිළිබඳ විශ්ලේෂකයන්ගේ පුරෝකතන අභිබවා යාමක් වන බවත්, සමූහයේ මව් සමාගමේ කාර්යසාධනය අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රසිද්ධියට පත් කිරීමේ හැකියාවක් පවතින බවත් මේ පිළිබඳව සටහනක් තබන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

මෙම හේලීස් සමූහය යටතට අයත් සමාගම් වන්නේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, හේලීස් ෆැබ්රික් පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී, කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී, සිංගර් ෆිනෑන්ස් පීඑල්සී, හේලීස් ෆයිබර් පීඑල්සී, රෙග්නිස් ලංකා පීඑල්සී, ද කිංග්ස්බරි පීඑල්සී, අමායා ලෙෂර් පීඑල්සී, සිංගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සහ යුනිසිස්ට් ඉන්ජිනියරිං පීඑල්සී යන සමාගම්ය.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනය වනවිට කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරයට හේලීස් පීඑල්සී සමූහයට අයත් ඉහත සඳහන් කළ ලැයිස්තුගත පරිපාලිත සමාගම් 14ක් මගින් 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 4ක ලාභ පෙන්නුම් කර ඇත. එසේම එම වසරේ මුල් මාස නවය තුළදී හිමි කරගෙන ඇති ලාභය රුපියල් බිලියන 8.5 කි.

පුවත්පත පෙන්වා දෙන ආකාරයට අද දිනයේදී නිකුත්වීමට නියමිතව ඇති හේලීස් පීඑල්සීහි ප්‍රතිඵලත් සමගින්ම එය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රධානතම විවිධාංගීකරණය වූ විශාල සමාගම බවට පත්වීමේ තරගයට පිවිසෙනු ඇතැයි යන්න වෙළෙඳ පොළ පිළිබඳ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

එහිදී දිගුකාලයක් පුරා එම තත්ත්වය රැක ගෙන සිටි ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සහ මෑතකදී මතුව ආ LOLC යන සමාගම් පහතට ඇද දැමීමේ හැකියාවක්ද හේලීස් සතුව ඇතැයි ඔවුන්ගේ මතය වී ඇත.

මේ අතර 2019/20 මූල්‍ය වර්ෂයේ කාර්ය සාධනයට අනුවද හේලීස් සමූහය රුපියල් බිලියන 200ක පිරිවැටුමක් අත්පත් කරගනිමින් අංක 01 ස්ථානයට පත්වීමට සමත්විය. එසේම ලාභය අතින් එය LOLC හමුවේ දෙවැනි ස්ථානයට පත්විය.

එසේම හේලීස් පීඑල්සී සමාගමට අමතරව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමත් අදදිනයේදී සිය 2020/21 මූල්‍ය වර්ෂයේ ප්‍රතිඵල ප්‍රසිද්ධයට පත් කිරීමට නියමිතව ඇතැයිද ඩේලිඑෆ්ටී පුවත්පත වැඩිදුරටත් පවසයි.  

Visits: 674